මෙතෙක් කථාව,

මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Thursday, February 23, 2017

ප්‍රධාන ඇන්ටනාව බලා....



     එළඹුණු ඉරිදා දිනය ජෙරමිට නම් බොහෝ කාර්යබහුල වී තිබුණි. ප්‍රධාන 
පරිගණකයේ දත්ත ගබඩා හා සම්බන්ධ වී, ට්‍රාන්ස්මිටරය පිළිබඳව තොරතුරු 
සෙවීමට දවසින් වැඩි කාලයක් මිඩංගු කර සිටි හේ කෙතරම් අපහසු වුවද එය 
විකේතනය කිරීමේ කාර්යයටද අතගසා සිටියේය. දිනය පුරා විවේක සුවයෙන් 
පසුවූ චමිල; ආහාර අනුභව කිරීමේ වේලාවල් මතක් කර දෙමින් සිය මිතුරාට 
මහත් සහයක් දැක්වූ අතර ඒවා නොතකා සිටින විටදී කෙතරම් බරපතල 
කාර්යයක නිරත වෙමින් සිටියද ඔහුව ආපන ශාලාව වෙත ඇදගෙන යාමට තරම් 
කාරුණික විය. එපමණක් නොව, නේවාසික සිසුන් සුව නින්දේ පසුවන 
මධ්‍යම රාත්‍රියේ පවා ජෙරමි සිය පරිගණකය අසල නිදි වර්ජිතව පසුවන විට 
හේ ඔහුගේ තනි නොතනියට, නුදුරින් වූ අසුනක් මත නිදි කිරා වැටෙමින් 
සිටියේය. 

Sunday, July 17, 2016

ෆියෝනාගේ හෙලිදරව්ව - (ii-කොටස)



     "අයියෝ චමිල.... වැදගත් දෙයක් කියන්නකෝ...."

     "ඇයි ඒක වැදගත් නැද්ද? වහලේ උඩට කොහොමද 'ගැමන්' කෙනෙක් ගියේ 
කියන එක?"
  
     "එයා වහලේ තියෙන වීදුරු කවුළුවක් පාවිච්චි කරන්න ඇති.... විහිළු නතර 
කරලා කියන්නකෝ ඔයාට කුළුණක් හරි, ඇන්ටනාවක් හරි පේනවද කියලා...."

     ජෙරමිගේ දෑස තවමත් රැඳී ඇත්තේ සියත රැඳි උපකරණයේ තිරයේ ය. 
චමිල තමා සිටි තැනින් මදක් ඉදිරියට ඇවිද ගියේය.

     "මෙහෙයුම සම්පූර්ණයි. ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ වහලේ උඩ නම් 
ඒ වගේ දෙයක් තියෙනවා කියලා පේනවා...."

Friday, July 8, 2016

ෆියෝනාගේ හෙලිදරව්ව - (i-කොටස)



     ට්‍රාන්ස්මිටරය පිළිබඳ දැනගත් කරණු නිසා හසාරාගේ සිත දැඩි ලෙස කැළඹී 
ගොස් තිබුණි. එයින් හැඟී යන්නේ පාසල තුල ඔත්තුකරුවෙක් සිටින බවද?... 
කිසිවෙකු තමා පිළිබඳ ඔත්තු බැලීමේ වැදගත්කම කුමක්ද යන්න ඇයට ඇතිවූ 
ගැටළුවකි. ඈ හැත්තෑ නව වෙනි ග්‍රහලෝකයේ ඔටුන්න හිමි කුමරිය වුවත් 
වර්තමාන පාලන ක්‍රමය තුල ඇය ද සාමාන්‍යය පුද්ගලයෙකු පමණි. 
ඇගේ හැසිරීම්, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන්, ආදිය පිළිබඳ කරුණු එක් රැස් කොට 
ලබාගත හැකි ප්‍රයෝජන කවරේදැයි ඈ යලි යලිත් කල්පනා කළාය. 
කොරිඩෝව ඔස්සේ පිය නැගි ඈ සිය කුටියට පැමිණියේ සිතුවිලි වලින් බරවූ 
හිසිනි. චමිල පැවසූ අන්දමට මේ සියල්ල පසුපස සිටින්නේ ජිම් ද? 
එසේනම් ඒ ඇයි? කිසිඳු එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ ඈ හිසට 
මෙන් ම ගතටද විවේකයක් ලබා දෙනු වස් සයනයේ වැතිරී දෙනෙත් 
පියා ගත්තාය.

Thursday, June 23, 2016

ක්ෂුද්‍ර ට්‍රාන්ස්මිටරය


"මේ වගේ උපාංග පොදුවේ හඳුන්වන්නේ 'ටී.පී.ඒ.එස්. ට්‍රාන්ස්මිටර්ස්', 
ඒ කියන්නේ 'තාප බලගැන්වුම් ප්‍රතිසම සංඥා සම්ප්‍රේෂක' 
( Thermal Powered Analog Signal Transmitter) කියලයි"

උදෑසන ආහාරයෙන් අනතුරුව නැවත කුටියට එක්වී සිටි මිතුරන් අමතමින් ජෙරමි පැවසීය. සුපුරුදු ලෙස හේ පරිගණකය ඉදිරිපස හිඳ සිටි අතර ඔහුගේ දෙපසින් හසාරා සහ චමිල අසුන් ගෙන සිටියහ.

 "මේක ඔත්තු බැලීමේ උපකරණයක්.... නමුත්, බය වෙන්න දෙයක් නැහැ. 
දැනට මම මේ උපකරණය ක්‍රියා විරහිත කරලයි තියෙන්නේ...."

ඔහු දිගටම කථාව කරගෙන යන්නට විය.

Sunday, January 3, 2016

වාදක චමිල - (ii-කොටස)



"අවදි වෙයල්ලා කම්මැලි කොල්ලනේ......
සංගීතයට ඔබේ කර්ණ පටහ පටල දෙදරවන්නට ඉඩ දෙන්න" 
 
හඬ නගමින් කුටියට ඇතුළු වූයේ සම වයසේ පිරිමි ළමයෙකි. සංගීත කණ්ඩායම් වල ශිල්පීන් අඳින ආකාරයේ කමිසයකින් ද, එයටම ගැලපෙන ඩෙනිම් කලිසමකින් ද සැරසී සිටි ඔහුගේ දෙපා සපත්තු යුවලකින් වැසී තිබුණි. ඔහුගේ දිගු කාලවර්ණ කොණ්ඩය නළල් තලය ද වසාගෙන කන් පෙති අතරින් ඇදී ගොස් ගෙල පිටුපසින් උරහිස දක්වා වැඩී තිබුණි. කාලවර්ණ නෙත් දෙකත්, පිරුණු මුහුණත්, දිගු නාසය හා පටු තොල් සඟලත් ඔහුට එක්කර තිබුණේ ආකර්ෂණීය පෙනුමකි. උසට සරිලන මහතකින් යුතු හේ එක් උරහිසක ගිටාර් ආවරණයක් එල්ලාගෙන සිටියේය.

ඔහුගේ අනපේක්ෂිත පැමිණීම නිසා විමතියටත්, තිගැස්මටත් පත්ව සිටි ජෙරමි හා හසාරා කිසිවක් පැවසීමට නොහැකිව සිටියදී පිරිමි ළමයාගේ විමසිලිමත් දෑස් ක්ෂණිකව යොමු වූයේ හසාරා වෙතටයි. ඒ සමගම ඒවා දීප්තියෙන් බැබලුණි.