මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Friday, May 29, 2015

පෘථිවි ආගමනය - (ii- කොටස)


දැරියගේ අවධානය කවුළුව වෙතින් බැහැරව තමා ඉදිරියෙන් වූ පුළුල් තිරය වෙත යොමුවිය. කෙමෙන් චලනය වන නීල වර්ණ පෘථිවියේ සහ අයිස් යුගයෙන් පසු දැනට ඉතිරි වී ඇති එකම ගොඩබිම් තලයේ දර්ශනය දෙස ඈ ඇසිපිය නොහෙලා බලා සිටියාය.

"තාප ආවරණය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා..."

ඇගේ අවධානය බිඳී ගියේ යාන්ත්‍රික ගැහැණු කටහඬකින් ඇසුණු පණිවිඩයක් නිසාය. මේ වන විට ඔවුන් රැගත් යානය පෘථිවි වායුගෝලය හරහා යෑම ආරම්භ කර තිබුණි. පීඩනයේ කිසියම් වෙනසක් ඇයට හැඟුණද තවත් මිනිත්තු කිහිපයකින් එය සැහැල්ලු බවකට පරිවර්තනය විය. මේ වන විට දර්ශණ තිරයේ සම්පූර්ණයෙන්ම වාගේ දිස්වූයේ හරිත වර්ණයෙන් බබලන ගොඩබිමයි. ගතවන සෑම තත්පරයක් පාසාම එය වඩා විශාල වෙමින් එහි භූ විෂමතා පැහැදිලිව දෘෂ්‍යමාන වන්නට විය. තුරු මුදුන් වලින් වැසී ගිය උස් කඳු වැටි, රට මධ්‍යයේ සිට ගලා බසිනා ගංඟා, රන්වන් වෙරළ තීරය..... යානය තව තවත් ආසන්න වෙත් ම ගොඩනැගිලි හා මහාමාර්ග ද මැනවින් දර්ශණය වන්නට විය.

Wednesday, May 27, 2015

පෘථිවි ආගමනය - (i- කොටස)


සැබැවින්ම, එය නවමු අත්දැකීමකි. "සමපාත යන්ත්‍රය" හරහා ඈ විශ්වයේ මේ තරම් දුරක් පැමිණි පළමු අවස්ථාව මෙයයි. තාරකා විද්‍යාඥයන් විසින් "හැත්තෑ නව වෙනි ග්‍රහලොව" ලෙස හඳින්වූ ඇගේ මව් ග්‍රහලොවේදී නම් වරක් "අයිස් ග්‍රහයා" වෙත යෑමටද, තවත් වරක් "වාමන ග්‍රහලොවේ" විද්‍යාගාර වෙත යෑමටද ඇය එය භාවිතා කර තිබුණි. එම ගමන් වලදී නම් ඇය එතරම් විශ්මයකටත්, චකිතයකටත් පත් නොවූයේ මව් ග්‍රහලොවේ සිට නුබ ගැබ වෙත නෙත් යොමද්දී එම ග්‍රහයින් දෘෂ්ඨි සීමාවේ වැඩි ඉඩක් අත්පත් කරගෙන සිටි නිසාවෙන් වුවද , දහස් ගණනක් වූ තාරුකා අතර ඇයට කිසි ලෙසකින් වත් වෙන්කර හඳුනා ගත නොහැකි වූ තවත් කුඩා ආලෝක පුංජයක් වූ සූර්යයාත්, ඇගේ ග්‍රහලොවේ තිබූ උපරිම බලයක් සහිත දුරේක්ෂයෙන් නැරඹූ විටත් කුඩා නිල් පැහැ ගෝලයක් ලෙසින් දිස්වන පෘථිවියත් වෙත මේ තරම් ඇසිල්ලකින් පැමිණීම නම් ඇගේ සිත විශ්මයෙනුත්, චකිතයෙනුත් පිරවූවාට සැකයක් නොමැත.

Monday, May 25, 2015

හැඳින්වීම


මේ කථාව ඇරඹෙන්නේ අනාගතයෙනි, කවදා , කොතැනකදී යන්න තීරණය කිරීම කාලයට බාරය. කෙසේ වුවද මෙය පෘථිවියේ නව යුගයක සමාජ, සංස්කෘතිමය පැතිකඩ පිලිබිඹු කරන්නකි. මේ යුගයේ මිනිසාට සිහිනයක් වූ බොහෝ දෑ ඉටුවූ යුගයක් පිලිබඳ ගතු කියන්නකි.

මේ අනාගත ලොවෙහි වූ එක්තරා පාසලක සිසු සිසුවියන් කණ්ඩායමක් මින් ඉදිරියට දිගහැරෙන කථාවට පාදක වී තිබේ. නමුත් කථාවට පෙරාතුව වෙනස් වූ ලෝකය පිලිබඳව ඔබ දැනගත යුතුය. මන්ද යත් එවිට ඔබට නිරවුල් මනසකින් යුතුව අනාගතයට පිය මැනිය හැකි බැවිනි.

Friday, May 22, 2015

ආයුබෝවන් !


මා දයාබර පාඨකය, ඔබ මා ද, මා ඔබ ද නොහඳුනන දිනෙක අපි මෙසේ හමුවී සිටින්නෙමු.... සැප දුක් නොවිමසූ නමුදු පවසන්නට බොහෝ දේ අප දෙදෙනාටම ඇතුවා නොඅනුමානය. එ නමුදු ඔබට විරාමයක් දී මා හඬ අවදි කරන්නෙමි. මින් ඉදිරියට මා ඔබට පවසන්නට යන්නේ කථාන්දරයකි....  සැබැවින්ම කිවහොත් අනාගත ලොවක් පිලිබඳ කථාන්දරයකි..... ඒ අනාගත ලොව තුල ජීවත් වන අපූරු, පුංචි මිතුරන් සය දෙනෙක් මේ කථාවේ කථා නායකයින් වනු ඇත.... ඔවුන්ගේ ජීවිතය, දඟකාරකම්, අත්දැකීම් මින් ඉදිරියට මේ පත් ඉරු මත සටහන් වනු ඇත..... සැබැවින්ම කිවහොත්, මේ මගේ නොව ඔවුන්ගේ කථාන්දරයයි.....  ඉදින්, විඩාබර දිවි ගමනේ... සෙනෙහෙබර ඉසිඹුවක " තරු මිතුරෝ " සමග රැඳෙන්නට මා ඔබට ආරධනා කරන්නෙමි......


සුබ දවසක් !