මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Monday, May 25, 2015

හැඳින්වීම


මේ කථාව ඇරඹෙන්නේ අනාගතයෙනි, කවදා , කොතැනකදී යන්න තීරණය කිරීම කාලයට බාරය. කෙසේ වුවද මෙය පෘථිවියේ නව යුගයක සමාජ, සංස්කෘතිමය පැතිකඩ පිලිබිඹු කරන්නකි. මේ යුගයේ මිනිසාට සිහිනයක් වූ බොහෝ දෑ ඉටුවූ යුගයක් පිලිබඳ ගතු කියන්නකි.

මේ අනාගත ලොවෙහි වූ එක්තරා පාසලක සිසු සිසුවියන් කණ්ඩායමක් මින් ඉදිරියට දිගහැරෙන කථාවට පාදක වී තිබේ. නමුත් කථාවට පෙරාතුව වෙනස් වූ ලෝකය පිලිබඳව ඔබ දැනගත යුතුය. මන්ද යත් එවිට ඔබට නිරවුල් මනසකින් යුතුව අනාගතයට පිය මැනිය හැකි බැවිනි.


වසර ගණනාවක් පුරා නොකඩවා සිදුවූ වන විනාශයත්, පොසිල ඉන්ධන දහනයත් මිහිතලය උණුසුම් වීමට වැඩි දායකත්වයක් සැපයූ බව රහසක් නොවේ. මිහිතලය උණුසුම් වීමත් සමග සිදුවූ ග්ලැසියර ඛාදනය කෙමෙන් ඉහල යාමත් සමග විවිධ දේශගුණික විපර්යාස පෘථිවි තලය වෙලා ගත්තේ මිනිසාට තවත් පියවරකට ඉඩක් නොතබාමය. ස්වාභාවික විපත් ඉහළ යමින් ගතවූ කාල වකවානුව තුලදී සමුද්ර ජල ප්රමාණය ඉහල යාම නිසා ගොඩබිම් රාශියක් නැවත හිරු එලිය නොදකින්නටම සාගරය තුල ගිලී ගියේය.

තමා සිදුකල වැරදි පිලිබඳ පසුතැවීමට පෙරාතුව මිනිසා ස්වභාවධර්මයේ දඬුවමට යටත් විය. එය මහා මේඝ වර්ෂාවක් නොවූවද සැබවින්ම යුගයක අවසානයක් ම විය. ඉන්පසුව ඇරඹි කෙටි අයිස් යුගය පෘථිවි භූ දර්ශණය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් විය.

දුක්ඛදායී යුග ගණනාවක් අවසානයේ නැවුම් හිරු කිරණ පෘථිවි තලය මත පතිත වෙද්දී සමස්ත පෘථිවි තලයම වෙලාගෙන පැවති සාගරයෙන් ශේෂ වූ එක් ගොඩබිම් තීරුවක් මත පමණක් ජීවය දෑස් අයා ඒ දෙස බලා සිටියේය. තවමත් ඉතිරිව පැවති ඒ බිම් කඩෙහි ඉතිරිව සිටි මනුෂ්යයා නැවත දෙපයින් නැගී සිට සිය ඉදිරි ගමන ආරම්භ කිරීමට පියවර තැබීය. නමුත් ඒ තනිවම නොවේ. ස්වභාවධර්මයද සමගයි.

තමා පෝෂණය කල, වැඩුනු පසුව එය නසන්නට ගොස් එහිම කෝපයට ලක්වී විනාශ වූ නමුදු, එහිම අනුකම්පාව ලැබ ඉතිරි වූ මානව සංහතිය නැවත ස්වාභාවධර්මයට විරුද්ධ නොවීමට සිය හද පත්ලෙන්ම ගිවිසගෙන සිටියහ. ඔවුන් නැවත ගොඩනැංවූ ශිෂ්ඨාචාරය කෙමෙන්, කෙමෙන් දියුණුවට පත්ව සෞරග්රහ මණ්ඩලයෙන් එපිටටද විකාශනය වෙද්දී ඔවුන් කිසිදින විරුද්ධ නොවූ, විරුද්ධ නොවනා දෙයක්ද ඒ සියලු ජයග්රහන අභිමුඛයේ රැඳී සිටියේය. ඒ ස්වභාවධර්මයයි.

            ඉතින්, ඔබ මේ කියවන්නට යන්නේ අනාගත ලොව පසුබිම් කොටගෙන ගොඩනැගුණු ප්රබන්ධයකි. ස්වභාවධර්මයට ආදරය කල මිනිසා ගොඩ නැංවූ ශිෂ්ඨාචාරය පිලිබඳව වූ ප්රබන්ධයකි.

            මෙහි යම් යම් තැන් වල කියවෙන කරුණු සමහර විට ඔබ පිළිගැනීමට පවා මැළිවීමද, පිළිබඳ මත ඉදිරිපත් කිරීමද ස්වභාවිකය. නමුත් සියල්ල පෙරටු කොට ඔබ සිතිය යුත්තේ මේ අනාගත ලෝකය බවයි.

            එසේනම්, පෘථිවියේ සිට හැත්තෑ නව වෙනි ග්රහලොව දක්වාද, මතු නොව සෝෆෝස් අභ්යවකාශ මධ්යස්ථානයත්, ඕහියෝ සමුද් ජනාවාසයත්, ගැනිමීඩ් ජනපදය හා අන්තර් ග්රහලෝක නිවාඩු නිකේතනත් අතරේ සුන්දර සංචාරයකට කෙරෙන ඇරයුමයි මේ......

            

1 comment:

  1. අදයි මෙ පැත්තට ආවේ!!
    එල එල
    මගින් නවත්තන්නෙ නැතුව දිගටම ලියපන්!!

    ReplyDelete