මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Wednesday, May 27, 2015

පෘථිවි ආගමනය - (i- කොටස)


සැබැවින්ම, එය නවමු අත්දැකීමකි. "සමපාත යන්ත්‍රය" හරහා ඈ විශ්වයේ මේ තරම් දුරක් පැමිණි පළමු අවස්ථාව මෙයයි. තාරකා විද්‍යාඥයන් විසින් "හැත්තෑ නව වෙනි ග්‍රහලොව" ලෙස හඳින්වූ ඇගේ මව් ග්‍රහලොවේදී නම් වරක් "අයිස් ග්‍රහයා" වෙත යෑමටද, තවත් වරක් "වාමන ග්‍රහලොවේ" විද්‍යාගාර වෙත යෑමටද ඇය එය භාවිතා කර තිබුණි. එම ගමන් වලදී නම් ඇය එතරම් විශ්මයකටත්, චකිතයකටත් පත් නොවූයේ මව් ග්‍රහලොවේ සිට නුබ ගැබ වෙත නෙත් යොමද්දී එම ග්‍රහයින් දෘෂ්ඨි සීමාවේ වැඩි ඉඩක් අත්පත් කරගෙන සිටි නිසාවෙන් වුවද , දහස් ගණනක් වූ තාරුකා අතර ඇයට කිසි ලෙසකින් වත් වෙන්කර හඳුනා ගත නොහැකි වූ තවත් කුඩා ආලෝක පුංජයක් වූ සූර්යයාත්, ඇගේ ග්‍රහලොවේ තිබූ උපරිම බලයක් සහිත දුරේක්ෂයෙන් නැරඹූ විටත් කුඩා නිල් පැහැ ගෝලයක් ලෙසින් දිස්වන පෘථිවියත් වෙත මේ තරම් ඇසිල්ලකින් පැමිණීම නම් ඇගේ සිත විශ්මයෙනුත්, චකිතයෙනුත් පිරවූවාට සැකයක් නොමැත.


                එසේ වුවද බොහෝ දෙනෙකුට විශ්මයක් ගෙන නොදුන් "සමපාත යන්ත්‍රය"  නැමැති මෙම යෝධ ව්‍යුහය පසුපස වූ වසර දහස් ගණනක සංකීර්ණ භෞතික විද්‍යා, ඉංජිනේරු විද්‍යා ඥාණය කිසිවෙකු සැණකින් එක් තැනක සිට තවත් තැනකට  ගෙනයාමේදී ඒ පුද්ගලයාගේ මතකයට නොනැගෙන තරම්ය. දුරාතීතයේ මුල්ම මනුෂ්‍යයා "හැත්තෑ නව වෙනි ග්‍රහලොව" මත පා තැබීමටත් පෙරාතුව එහි ආදිවාසීන් වූ "බ්‍රෝනෝවර්" වරුන් එම තාක්ෂණය දියුණු කිරීමේ නොකඩවා නිරතව සිටියහ. ප්‍රථම මිනිසා එහි පැමිණෙන විටත් ඔවුන් ලබා සිටියේ එම ග්‍රහලොවේම ස්ථාන ද්විත්වයක් අතර හුවමාරු වීමකට තරම් දියුණු වූ තාක්ෂණයක් වූ නමුත්, මිනිස් ඥාණය හා තාක්ෂණය මත එය මේ වන විට විශ්වය හරහා ගමන් කිරීම දක්වාම පැමිණ තිබුණි. අයින්ස්ටයින්ගේ "පණු ගුල්" (worm-hole) සංකල්පය මත පදනම් වෙමින් විශ්වය සමීප කරවීමට අවශ්‍ය වූයේ එවන් ස්ථාන දෙකක් සොයා සමපාත යන්ත්‍ර දෙකක් දෙකෙළවර ස්ථාපනය කිරීම පමණි. මෙම ස්ථාපනයන් සඳහා භාවිත වූයේ මිනිසුන් රහිත ස්වයංක්‍රීය යානා වුවද එහි ප්‍රධානම අවාසිය වූයේ පළමු ස්ථාපනයට, අදාල ස්ථාන දෙක අතර සැබෑ ගමනට ගතවන කාලයම ගතවීමයි.

            සුන්දර රවුම් මුහුණකුත්, දෙදණ දක්වා දිගු වූ කාලවර්ණ කෙස් වැටියක් සහ පියකරු ඡවි වර්ණයෙන් හෙබි වයස අවුරුදු පහළවක් පමණ වූ ඈ හැඳ සිටි රෝස පැහැ ගවුම නිසා ඇගේ රුවැති බව තවත් ඔප් නැංවුණි. "සමපාත යන්ත්‍රයෙන්" පිටතට පැමිණි වහාම ඇගේ අවධානය යොමුවූයේ තමාට යාබද අසුනේ හිඳ ඔවුන් පැමිණි අභ්‍යවකාශ යානයෙහි පාලක පුවරුව මත සිය ඇඟිලි තුඩු හසුරුවනා වයස අවුරුදු හතලිස් පහක් පමණ වූ උත්තුංග දේහධාරී පුරුෂයා වෙතයි. තැනින් තැන පැසීයාම ආරම්භ වූ කාලවර්ණ හිසකේ සහ ඝන උඩු රැවුලකින් යුතු තරමක් තර සිරුරකින් හෙබි හේ "හැත්තෑ නව වෙනි ග්‍රහලොවෙහි" මනුෂ්‍යයන්ගේ පාලකයා වූ අතර, සියලු දෙනා විසින්ම "රජු" යන ගෞරව නාමයෙන් යුතුව ඔහුව හඳුන්වනු ලැබීය. ඔහුගේ මුහුණුවර, දැරියගේ මුහුණුවරට දැක්වූ සමානතාවය නිසා මේ සිටින්නේ පියා සහ දියණිය, එසේත් නොමැති නම් ඔවුන්ගේ භාෂාවෙන් "රජු" සහ "රාජකීය කුමරිය" බව පැවසීමට කිසිවෙකුටත් අපහසු නොවනු ඇත.

            "කොහොමද ඔයාට මුකුත් වෙනසක් එහෙම දැනෙනවද ?"

            දියණියගේ අවධානය තමා වෙතට යොමුවී ඇති බව වටහාගත් පියා සිනහමුසු මුහුණින් යුතුව ඈ වෙත නෙතු යොමමින් විමසා සිටියේය. ඇයද සිනාමුසු මුහුණින් 'නැත' යි හැඟවීමට හිස සැළුවාය.

            "අපි මෙහාට එන්න විනාඩි අටයි තත්පර තිස් හතක් ගතවෙලා තියෙනවා...."

            තම අවධානය නැවත පාලන පුවරුව වෙත යොමු කරමින් පියා පැවසීය.

"විනාඩි අටයි තත්පර තිස් හතක් ! ! " දැරිය සිතෙන් ප්‍රතිරාව නංවමින්ම හිස හරවා තමාට පිටුපසින් වූ යානයේ කවුළුව වෙත නෙත් යොමු කළාය.

කාල වර්ණ අභ්‍යවකාශය තුල රිදී වර්ණයෙන් දිළිසුම් දෙමින් "සමපාත යන්ත්‍රය" වේගයෙන් ඔවුන් කෙරෙන් ඈත් වෙමින් පැවතුණි. බොහෝ දෙනා විසින් දොරටුවක් ලෙස අර්ථකථනය කළද එවන් පෙනුමක් නම් ඉන් දෘශ්‍යමාන වූයේ නැත. ඔවුන්ගේ යානය ඉන් පිටතට පැමිණි කිලෝමීටර කිහිපයක් ඝනකමැති හිස් ත්‍රිකෝණාකාර මධ්‍යයත්, එහි කොන් වලින් පිටතට නෙරා ගිය තවත් කිලෝමීටර කිහිපයක් දිගැති අඬු ත්‍රිත්වයත් නිසා එයට ලැබී තිබුණේ පාද තුනක් පමණක් ඇති සුවිසල් මකුළුවෙකු සිහිපත් කරවන පෙනුමකි. පෘථිවියත්, චන්ද්‍රයාත් අතර ස්ථාවර කක්ෂයක පිහිටා තිබූ එය සෙමින් තමා වටා භ්‍රමණය වෙමින්, පෘථිවිය වටා ද පරිභ්‍රමණය වෙමින් පැවතුණි. සෑම පැය තුනකටම වරක් එය අදාල "පණු සිදුරෙහි" එක් අන්තයකට පැමිණුනු අතර ඒ මොහොතේම අනෙක් අන්තයේ වූ එහිම නිවුන් සහෝදරයා ක්‍රියාත්මක කරවා යන්ත්‍රය පණගැන්විය හැකි විය. පදාර්ථය ශක්තිය බවට හරවා නැවත එම ශක්තිය පදාර්ථය බවට හැරවීම මෙය හරහා ගමන් ගන්නා සෑම වස්තුවකටම පොදු යාන්ත්‍රණය විය. එය කෙතරම් අපූරු දැයි හැඟෙන්නේ ඔබට, මෙහි එක් පසකින් අතුළු වී, යන්ත්‍රය ක්‍රියාත්මක කරවූ සැණින් ශක්ති කදම්භයක් බවට පත් වී "පණු සිදුර" හරහා ගොස් අනෙක් පස ඇති යන්ත්‍රයෙන් නැවත පදාර්ථය බවට පරිවර්තනය වී පිටතට පැමිණීමට හැකිවන බැවිනි.


( නැවත හමුවෙමු......!)


1 comment:

  1. පට්ට ස්ටෝරියක් වගේ....මුල ඉදලම කියවන්ඩ පටන් ගත්තා!

    ReplyDelete