මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Friday, May 29, 2015

පෘථිවි ආගමනය - (ii- කොටස)


දැරියගේ අවධානය කවුළුව වෙතින් බැහැරව තමා ඉදිරියෙන් වූ පුළුල් තිරය වෙත යොමුවිය. කෙමෙන් චලනය වන නීල වර්ණ පෘථිවියේ සහ අයිස් යුගයෙන් පසු දැනට ඉතිරි වී ඇති එකම ගොඩබිම් තලයේ දර්ශනය දෙස ඈ ඇසිපිය නොහෙලා බලා සිටියාය.

"තාප ආවරණය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා..."

ඇගේ අවධානය බිඳී ගියේ යාන්ත්‍රික ගැහැණු කටහඬකින් ඇසුණු පණිවිඩයක් නිසාය. මේ වන විට ඔවුන් රැගත් යානය පෘථිවි වායුගෝලය හරහා යෑම ආරම්භ කර තිබුණි. පීඩනයේ කිසියම් වෙනසක් ඇයට හැඟුණද තවත් මිනිත්තු කිහිපයකින් එය සැහැල්ලු බවකට පරිවර්තනය විය. මේ වන විට දර්ශණ තිරයේ සම්පූර්ණයෙන්ම වාගේ දිස්වූයේ හරිත වර්ණයෙන් බබලන ගොඩබිමයි. ගතවන සෑම තත්පරයක් පාසාම එය වඩා විශාල වෙමින් එහි භූ විෂමතා පැහැදිලිව දෘෂ්‍යමාන වන්නට විය. තුරු මුදුන් වලින් වැසී ගිය උස් කඳු වැටි, රට මධ්‍යයේ සිට ගලා බසිනා ගංඟා, රන්වන් වෙරළ තීරය..... යානය තව තවත් ආසන්න වෙත් ම ගොඩනැගිලි හා මහාමාර්ග ද මැනවින් දර්ශණය වන්නට විය.

 
එය වඩාත් පැහැදිලි වන විට තරමක් හුදකලා නිරාවරිත පුළුල් බිම් කඩක පිහිටා තිබුණු ගොඩනැගිලි සංකීර්ණයක් වෙත පියා, දැරියගේ අවධානය යොමු කරවීය.

"ඒ තමයි ප්‍රධාන පරිගණකය"

"ඒ කියන්නේ 'ජොයියා'...!! "

දැරිය විශ්මයත්, උද්යෝගයත් කැටිවුණු මුහුණින් යුතුව විමසා සිටියාය.

"ඔව්.... නමුත් හරියටම කියනවා නම් 'ජොයියා' කියන්නේ ප්‍රධාන පරිගණකයේ මධ්‍ය සැකසුම් ඒකකයට. එහෙමත් නැත්නම් මොළයට.... ඔය ගොඩනැගිලි සංකීර්ණයේ භූගත කුටියක තමයි ඒක පිහිටලා තියෙන්නේ...."

පියා පිළිවදන් දුන්නේය.

"මේ හැම ගොඩනැගිල්ලක්ම ප්‍රධාන පරිගණකයට අයිතිද?"

දැරිය විමතියෙන් යුතුව විමසුවාය.

"ඔව්"

පියා පිළිවදන් සැපයීය.

"ප්‍රධාන පරිගණකයට අයිති විද්‍යාගාර, පර්යේෂණාගාර, දත්ත ගබඩා, බල සැපයුම් මධ්‍යස්ථාන වගේ හැම දෙයක්ම එතන තියෙනවා.... ඒක සම්පූර්ණයෙන්ම ආරක්ෂිත කලාපයක්"

"එතකොට 'මාතෘ භූමිය' සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ ප්‍රධාන පරිගණකයෙන්ද?"

(ඔවුන් ගොඩබිම් තලය හැඳින්වූයේ 'මාතෘ භූමිය' යන නමිනි. මේ වන විට විශ්වය පුරා විසිරී සිටින සමස්ත මානව සංහතියේම මුල් බිම එය වූ බැවින් එසේ හඳුන්වන්නට යෙදුණි)

"ඔව්. තුන්වන ලෝක යුද්ධයෙනුත්, අයිස් යුගයෙනුත් පස්සේ ඉතිරි වුණු මිනිස්සු තීරණය කලා සමස්ත මානව සංහතියේම පාලනය යන්ත්‍රයකට පවරන්න. ඒ කාලේ හැටියට මේක මහ විකාර අදහසක් වගේ තමයි පෙනුණේ.... මොකද යන්ත්‍ර මිනිස්සුන්ට එරෙහි වෙයි කියන මතය ඒ වෙනකොටත් සමාජයෙන් බැහැර වෙලා තිබුණේ නැහැ. නමුත් අන්තිමේදී හැමෝටම මුල් තීරණයට එකඟ වෙන්න සිද්ධවුණා"

"හ්ම්...."

දැරිය උද්යෝගයෙන් හිස සැළුවාය.

"එතකොට අපිට ඒක බලන්න යන්න බරිද?"

"ඇයි බැරි ? ඒකට විශේෂ අවසර පත්‍රයක් ඕන වෙනවා.... නමුත්, මං දන්න විදිහට ඔයාලගේ ඉස්කෝලේ මුල්ම වාරෙදී ප්‍රධාන පරිගණකයට ක්ෂේත්‍ර චාරිකාවක් තියෙනවා"

පියා පැවසීය.

"ප්‍රධාන පරිගණකය ක්‍රියාත්මක වෙන හැටි, ඒකේ කාර්යභාරය ගැන එතකොට ඔයාලට දැනගන්න ලැබෙයි"

මේ වන විට ඔවුහු ගොඩබිම වෙත සෑහෙන තරම් ලංවී සිටියහ. තවත් මොහොතකින් දර්ශණ තිරය පුරා දිස්වන්නට වූයේ ඔවුන්ගේ පළමු නැවතුම්පල වූ අභ්‍යවකාශ යානා තොටුපලයි. ඔවුන් ඒ වෙත ක්‍රම ක්‍රමයෙන් ආසන්න වෙත්ම, යානය ස්වයංක්‍රීයවම තම ගමන්මග නිවැරදි කර ගනිමින් ගොඩබෑමට අදාල යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවන්නට විය. තවත් මොහොතකින් එහි ආධාරක පාද භූමිය ස්පර්ෂ කරනු ඇතුලත සිටියවුන්ට සංවේදනය විය.

"ආයුබෝවන් ! මහාචාර්ය වික්‍රමසිංහ සහ හසාරා වික්‍රමසිංහ මෙනවියනි. 'මාතෘ භූමිය' වෙත ඔබ දෙදෙනාව සාදරයෙන් පිළිගනු ලබනවා...."

යාන්ත්‍රික පිරිමි කටහඬකින් සුභපැතුම් ගලා ආවේය. මිනිස් ජනාවාස වෙත පැමිණෙන සියළු යානා සහ පුද්ගලයන් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් විශ්වය පුරා ක්‍රියාත්මක වූ බැවින් පියා හා දියණිය එම පණිවිඩයෙන් විමතියට පත් වූයේ නැත.

තමන් මෙතෙක් වෙලා රැඳී හුන් අභ්‍යවකාශ යානයෙන් සමුගෙන භූමිය මත පා තබත්ම දැරියට හැඟුණේ අමුතුම ප්‍රබෝධයකි. දීර්ඝ හුස්මක් ගෙන ළය පුරවා ගත් ඈ යාත්‍රාංගනය සිසාරා තම දෑස් යොමු කළාය.


( නැවත හමුවෙමු......!)

1 comment:

  1. දිග මදි බන්! තව දිගට ලියපන්!

    ReplyDelete