මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Sunday, June 28, 2015

අළුත් මිතුරියක් - (iv-කොටස)




"ආ.... ඔව්.... න්.... නෑ.... නෑ.... තමුන්ලට ඒ කථාව අදාල නෑ....."

පියවි සිහියට එළඹෙමින් ජිම් පැවසුවේ දැඩි හඬිනි.

"මට දැන් යන්න වෙනවා.... වැඩ ගොඩක් තියෙනවා.... ගැහැණු ළමයින්ගේ නාන කාමර මේ කොරිඩෝවේ කෙළවරම තියෙනවා.... පාඩම් කාමරය පහළ තට්ටුවේ තියෙනවා.... ඒ වගේම තමයි මතක තියාගන්න, මේ නේවාසිකාගාරයේ විනය ගැන මං බොහොම තදින් හොයා බලනවා...."

හේ පැවසුවේ හසාරා වෙත වැඩි අවධානය යොමු කරමිනි. ඈ කිසිවක් පවසන්නටත් ප්‍රථම ඔවුන්ගෙන් මිදුණු ඔහු කොරිඩෝව දිගේ ඉදිරියට ඇවිද යන්නට විය.

Monday, June 15, 2015

අළුත් මිතුරියක් - (iii-කොටස)




"ආ....හා.... තවත් අළුත් ශිෂ්‍යාවක්"

"ඔව් මර්බෙට් මහත්මයා.... මම හසාරා සුවිමාලි" 
 
ඈ තරමක් ගෞරව සම්ප්‍රයුක්තව පැවසුවාය.

"හසාරා සුවිමාලි. හැත්තෑ නව වෙනි ග්‍රහලෝකයේ කුමාරිකාව"

ජිම් කියාගෙන ගියේය.

"දැක්කනේ.... මම තමුන්ව දන්නවා.... ඒක නෙවෙයි, මට ඔය 'මර්බෙට් මහත්මයා' කියන කොටස කියන්න එපා.... නිකන්ම 'ජිම්' කියන්න. සරලවම.... 'ජිම්'. මොකද කෙටියෙන්ම කිව්වොත් 'මර්බෙට්', 'මහත්මයා' කෑලි වලට මම කැමති නැහැ."

හේ අවසාන වාක්‍යය පැවසුවේ තරමක් පහත් හඬිනි.

Saturday, June 13, 2015

අළුත් මිතුරියක් - (ii-කොටස)



“ජිම් ! !”

හසාරා විමතියෙන් එයම ප්‍රතිරාවය කළාය.

“ඔව්, ජිම්.... ජිම් මර්බෙට් මහත්මයා.... එයා තමයිලු මෙහේ ශාරීරික අධ්‍යාපන ගුරුතුමා. ඒ වගේම අපේ නේවාසිකාගාර බලාගන්නෙත් එයා....”

නමුත් එකවිටම යමක් මතක්වූවාක් මෙන් දැරිය කතාව මොහොතක් නතර කළාය.

            “ඒක නෙවෙයි..., මම ෆියෝනා ස්ටෝන්ස්. ඔයා...?”
 
ඈ සුරත හසාරා වෙත දිගු කළාය.

            “මම හසාරා සුවිමාලි.”

අතට අත දෙමින් හසාරා පැවසුවාය.

            “හසාරා සුවිමාලි !! ”

ෆියෝනා විමතියෙන් එයම ප්‍රතිරාවය කළාය.

Tuesday, June 9, 2015

අළුත් මිතුරියක් - (i-කොටස)



සියල්ලටම ප්‍රථමයෙන් ඇගේ දෑසට සිත්තම් වූයේ ගේට්ටුව අසලින් ආරම්භ වී ඈතින් වූ ගොඩනැගිලි දක්වා දිවෙන පුළුල් මාවතකි. මනා ලෙස නඩත්තු කරන ලද මල් පැල එහි දෙපස සීමා සනිටුහන් කල අතර, බැසයන හිරුගේ ආලෝකය වැදී ඒවා දිළිසුම් දෙමින් පැවතුණි. මාවත දෙපසත්, පාසල් භූමියේත් තැනින් තැන මනා සෙවණින් යුතු සුවිසල් වෘක්ෂයන් වූ අතර ඒවා පාමුල බංකු තබා තිබුණි. විදුහල් බිම ජන ශූණ්‍යව ඇතැයි බැලූ බැල්මට පෙනී ගියද අතරින් පතර එහා මෙහා යන සිසු සිසුවියන්ගේ ඡායා දැරියගේ නෙතු මත නාභිගත විය. නුහුරු පෙදෙසකට එක්වරම ඇතුල් වන්නෙකු තුල ඇතිවන චකිතයත් සිතෙහි දරාගෙනම ඈ සෙමින් මාවත ඔස්සේ පා නැගුවාය. එහි එක් පසක පාසලේ සිතියම ප්‍රදර්ශණය වෙමින් පැවති ඩිජිටල් සංඥා පුවරුවක් වූ අතර ඈ ඒ වෙත ආසන්න වත්ම සිතියම ඉවත් වී ඒ වෙනුවට එහි කිසියම් පණිවිඩයක් දිස්වන්නට විය.

Sunday, June 7, 2015

පෘථිවි ආගමනය - (v-කොටස)

කහ-තැඹිලි පැහැ තුරු මුදුන් මතින් සන්ධ්‍යා හිරු කිරණ නුබ ගැබ සිසාරා පැතිර ගොස් තිබුණි. විටින් විට වලාකුළු වියන් යටින් කැදලි කරා ඇදෙනා සියොතුන් ඒ මත අලංකාර රටා මැවීය. සිහින් මන්ද මාරුතයෝ ගත දැවටෙමින් ජනිත කලේ ප්‍රබොධමත් බවකි. නිශා යාමය එළඹීමට  ඉතිරිව ඇත්තේ තවත් හෝරා කිහිපයක් බැව් සිහිපත් කරන්නට මෙන් රැහැයියන්ගේ නිනොනවතින නාදය වා තලය සිසාර පැතිර යාම ඇරඹී තිබුණි. වියළි පත්‍ර වැටීමෙන් පාවඩ ලූවාක් මෙන් දිස්වන පුළුල් මාවත ඔස්සේ පියාත් දියණියත් ඉදිරියට පා නගන්නට වූහ.

Thursday, June 4, 2015

පෘථිවි ආගමනය - (iv-කොටස)


"මං මේක විතරක් අතේ අරන් යන්නම්.... අනික් බෑග් ටික අපි එහෙනම් ඉස්කෝලෙට යවමු."

අදාල ගමනාන්තය පවසන ලදුව, සිෆ් වරයා ඔවුන්ගෙන් නික්ම යන්නට වූ අතර පියා සහ දැරිය යාත්‍රාංගනය පසක වූ ගොඩනැගිල්ල වෙත පියවර එසවූහ.

ස්වයංක්‍රීය පිරික්සුම් දොරටු පසු කරමින් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි ඔවුන්ගේ දර්ශණ පථයට හසු වූයේ ඉදිරියෙන් ඇදී යන මහාමාර්ගයයි. දෙපසටම රථ වාහන ගමන් කල හැකි සේ තනා තිබූ එහි එක් පසක මං තීරු ද්විත්වය බැගින් වූ අතර සූර්ය බලයෙන් හෝ කෝෂ මගින් ධාවනය වන නිහඬ ස්වයංක්‍රීය රථ ඉන් එක් මං තීරුවකද, පා-පැදි අනෙක් මං තීරුවේද කිසිඳු තද බදයකින් තොරවම ගමන් ගනිමින් පැවතුණි. ලං ලංව ඉදිකොට තිබූ අහස උසට නැගි ගොඩනැගිලි මතින් නොයෙක් හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුත් ගුවන් යානාවෝ තැඹිලි වර්ණිත අහස පසුබිම් කර ගනිමින් ඈතට ඇදී ගියහ. පියා මෙන් නොව, තම සෞරග්‍රහ මණ්ඩලයේ හැර වෙනත් ග්‍රහලෝකයක් මත පා තැබූ ප්‍රථම අවස්ථව මෙය වූ බැවින් යථොක්ත දර්ශණය කුඩා දැරියගේ සිතෙහි ඇති කලේ උද්යෝගයක් මෙන්ම විමතියකි.

Monday, June 1, 2015

පෘථිවි ආගමනය - ( iii-කොටස)


සැබැවින්ම එය ප්‍රියජනක සන්ධ්‍යාවක් විය. නීල වර්ණ නුබ කුස වසාගෙන පැතිරී තිබුණු වලාවන් අහස් තලයම තැඹිලි පැහැයෙන් වර්ණ ගන්වා තිබුණි. එක් අන්තයක වූ පුළුල් ගොඩනැගිල්ලක් සහ ඒ හා සම්බන්ධව නිමවා තිබූ සුවිසල් තාප්පයකින් වටවූ විශාල බිම් කඩ මත, තැනින් තැන නවත්වා තිබූ විවිධාකාර හැඩයන්ගෙන් හා විවිධාකාර ප්‍රමාණයන්ගෙන් යුත් අභ්‍යවකාශ යානාවන් බැසයන හිරුගේ රශ්මිය වැදී දිළිසුම් දෙමින් පැවතුණි. විටින් විට ඒවා අතරින් එහා මෙහා ගමන් ගන්නා රොබෝවරුන් නොවන්නට එම දර්ශණය දෙස බලන්නෙකුට හැඟී යනුයේ එය කිසිවෙකුගේ තෙලිතුඩකින් නිමවූ සිතුවමක් දෝ යන හැඟීමකි.