මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Tuesday, June 9, 2015

අළුත් මිතුරියක් - (i-කොටස)



සියල්ලටම ප්‍රථමයෙන් ඇගේ දෑසට සිත්තම් වූයේ ගේට්ටුව අසලින් ආරම්භ වී ඈතින් වූ ගොඩනැගිලි දක්වා දිවෙන පුළුල් මාවතකි. මනා ලෙස නඩත්තු කරන ලද මල් පැල එහි දෙපස සීමා සනිටුහන් කල අතර, බැසයන හිරුගේ ආලෝකය වැදී ඒවා දිළිසුම් දෙමින් පැවතුණි. මාවත දෙපසත්, පාසල් භූමියේත් තැනින් තැන මනා සෙවණින් යුතු සුවිසල් වෘක්ෂයන් වූ අතර ඒවා පාමුල බංකු තබා තිබුණි. විදුහල් බිම ජන ශූණ්‍යව ඇතැයි බැලූ බැල්මට පෙනී ගියද අතරින් පතර එහා මෙහා යන සිසු සිසුවියන්ගේ ඡායා දැරියගේ නෙතු මත නාභිගත විය. නුහුරු පෙදෙසකට එක්වරම ඇතුල් වන්නෙකු තුල ඇතිවන චකිතයත් සිතෙහි දරාගෙනම ඈ සෙමින් මාවත ඔස්සේ පා නැගුවාය. එහි එක් පසක පාසලේ සිතියම ප්‍රදර්ශණය වෙමින් පැවති ඩිජිටල් සංඥා පුවරුවක් වූ අතර ඈ ඒ වෙත ආසන්න වත්ම සිතියම ඉවත් වී ඒ වෙනුවට එහි කිසියම් පණිවිඩයක් දිස්වන්නට විය.


'ආයුබෝවන් ! හසාරා සුවිමාලි
සැජිටේරියස් උසස්-කණිෂ්ඨ පාසලට ඔබව සාදරයෙන් පිළිගනිමු.
ඔබේ නේවාසික කුටිය ප්‍රධාන ශිෂ්‍ය නේවාසිකාගාරයේ
දෙවන මහලේ අංක 37 යි.'

ඊට පහළින් ප්‍රධාන නේවාසිකාගාරය වෙත යන මාවත පෙන්වන දල සටහනක්ද දර්ශණය වෙමින් පැවතුණි.
එම මග පෙන්වීම හොඳින් මතකයේ රැඳුණු හෙයින් ප්‍රධාන නේවාසිකාගාරය සොයා ගැනීම ඇයට එතරම් අපහසු වූයේ නැත. මහල් තුනකින් සමන්විත සුවිසල් ගොඩනැගිල්ලක් වූ එය පාසල් බිමේ සෙසු ගොඩනැගිලි වලට තරමක් ඈතින් පිහිටියද, තුරු මුදුන් අතරින් එහි උස් වහලය මනාව දර්ශණය විය. නේවාසිකාගාරයේ පුළුල් පියගැටපෙළ ඔස්සේ පා නැගූ ඈ තවත් සුළු කාලයක් මිඩංගු කිරීමෙන් අනතුරුව සිය කුටිය සොයා ගැනීමට සමත් වූවාය. නේවාසික සිසුන් බොහොමයක් තවමත් පැමිණ නැති බවට දෙස් දෙමින් බොහෝ කුටි වසා තිබුණු අතර හෙට දිනයේ පාසල ආරම්භ වීමෙන් අනතුරුව ඒ සියල්ලම සිසු සිසුවියන්ගෙන් පිරී යනු ඇත.
සිය කුටිය විවර කර ගැනීමට දොරෙහි වූ අගුල කරකැවූවද, විවර නොවූ ද්වාරය දෙස් දුන්නේ එය අගුළු ලා ඇති බවයි. දැරිය යුහුසුළුව දොරගුල වෙත අවධානය යොමු කළාය. එහි යතුරු සිදුරක් වූ අතර ඇය සතුව යතුරක් නොවීය !
හසාරා මොහොතක් වික්ෂිප්තව ගියාය. අන්තර් ග්‍රහලෝක තැපෑලෙන් පැමිණියේ තම හඳුනාගැනීමේ කාඩ්පත පමණක් බව ඇයට හොඳින්ම විශ්වාසය. කිසියම් වරදක් සිදුවීදෝ යි බලන අටියෙන් ඈ පසුම්බිය විවර කොට එයද සියතට ගෙන නැවත වරක් කියවා බැලුවාය. නැත. සියල්ල නිවැරදිය. එසේනම් මෙම දොරටුවේ යතුර ඇත්තේ කොහිද?
"ඔයාට මුකුත් උදව්වක් එහෙම ඕනිද?"
එකවිටම මිතුරු හඬක් නැගුණු අතර හසාරාගේ අවධානය වහා එදෙසට යොමු විය.
උරහිස් දක්වා වැඩුණු රන්වන් කෙස් කළඹකින්ද, නිල් වන් නෙතු සඟලකින් හා වටකුරු මුහුණකින්ද යුතු පියකරු සම වයස් දැරියක් යාබද කුටියේ දොරටුව අසල සිටිනු ඈ නෙතු ඉදිරියේ දෘෂ්‍යමාන විය. පැහැපත් සමකින් යුතු වූ ඕ සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටියාය.
"ආ.... ඔව්, මං මගේ කාමරේ යතුර අරගෙන නෑ වගේ...."
"ඔයා මෙහෙට අළුතෙන්ද?"
'ඔව්' යැයි හැඟවීමට හසාරා හිස සැලුවාය.
"මමත් එහෙමයි.... ඔයාගේ හැඳුනුම්පත තියෙනවද?"
හසාරා සියත වූ හැඳුනුම්පත දැරිය වෙත පෑවාය.
"ආ.... එහෙනම් ප්‍රශ්ණයක් නැහැ. ඕක 'ජිම්' ට දීලා එයාගෙන් කාමරේ යතුර ඉල්ලගන්න ඕනා...."


(නැවත හමුවෙමු......)

No comments:

Post a Comment