මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Monday, June 1, 2015

පෘථිවි ආගමනය - ( iii-කොටස)


සැබැවින්ම එය ප්‍රියජනක සන්ධ්‍යාවක් විය. නීල වර්ණ නුබ කුස වසාගෙන පැතිරී තිබුණු වලාවන් අහස් තලයම තැඹිලි පැහැයෙන් වර්ණ ගන්වා තිබුණි. එක් අන්තයක වූ පුළුල් ගොඩනැගිල්ලක් සහ ඒ හා සම්බන්ධව නිමවා තිබූ සුවිසල් තාප්පයකින් වටවූ විශාල බිම් කඩ මත, තැනින් තැන නවත්වා තිබූ විවිධාකාර හැඩයන්ගෙන් හා විවිධාකාර ප්‍රමාණයන්ගෙන් යුත් අභ්‍යවකාශ යානාවන් බැසයන හිරුගේ රශ්මිය වැදී දිළිසුම් දෙමින් පැවතුණි. විටින් විට ඒවා අතරින් එහා මෙහා ගමන් ගන්නා රොබෝවරුන් නොවන්නට එම දර්ශණය දෙස බලන්නෙකුට හැඟී යනුයේ එය කිසිවෙකුගේ තෙලිතුඩකින් නිමවූ සිතුවමක් දෝ යන හැඟීමකි.



මෙතෙක් වෙලා පරිසරය වෙත යොමුවී තිබූ අවධානය බිඳහෙලමින් ඔවුන් වෙත පැමිණෙන ස්වයංක්‍රීය රොබෝවරයෙකු ඇගේ නෙතු මත නාභිගත විය. හේ අඩි තුනකට වඩා මදක් උස් විය. 'මාතෘ භූමියේ' සියළුම රොබෝවන්ට සුපුරුදු විසල් ගෝලාකාර හිසත්, ආකර්ශණීය හැඩති බඳත් ඔහුට එක් කර තිබුණේ රළු-පරළු බවක් නොව අපූරු හුරුබුහුටි ස්වභාවයකි.

එබැවින් මෙකල්හි 'රොබෝ' යන පදය සීමා වී තිබුණේ විසල් කර්මාන්තශාලා වල නිෂ්පාදන ක්‍රියාවලීන් හි දී යොදා ගන්නා විකාර රූපී ස්වයංක්‍රීය යන්ත්‍ර වලට පමණි. මෙවන් කුඩා යන්ත්‍ර හැඳින්වූයේ 'සිෆ්' හෙවත් 'බුහුටි බුද්ධිමත් මිතුරන්' (Smart Intelligent Friends) යන නමිනි. ඔවුන්ගේ නිර්මාණාත්මක සැලසුම් වල මූලාරම්භය තෙවන ලෝක යුද්ධයටත් බොහෝ කලකට ඉහත අතීතයක් දක්වා දිව ගියද එය යථාර්ථයක් බවට පත්වීමට තවත් බොහෝ කාලයක් ගත විය. කිසි දිනක මනුෂ්‍යයා බලාපොරොත්තු වන තරමේ කාර්යක්ෂමතාවයක් මානවරූපී රොබෝවන්ගෙන් ලබාගත නොහැකි බව අවබෝධ කර ගැනීමෙන් ඉක්බිතිව ඒවා නිෂ්පාදනය නවතා දැමීම 'සිෆ්' වරුන්ගේ ආගමනය වේගවත් කරන්නක් විය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙම යන්ත්‍ර 'බුද්ධිමත්' විය. නිරතුරු මනුෂ්‍යයා සමග රැඳෙමින් මිතුරෙකු මෙන් වැඩ පහසු කරන්නට රුකුල් දුන් ඒවා සිය අත්දැකීම් ඔස්සේ තම දැනුම පුළුල් කර ගැනිමේ සමත්කම් දැක්වීය. සෘජුවම රැහැන් රහිතව 'ප්‍රධාන පරිගණකය' සමග සම්බන්ධව තිබූ හෙයින් එක් යන්ත්‍රයක අත්දැකීමක් 'මාතෘ භූමියේ' වූ එවන් යන්ත්‍ර සියල්ලේම දැනුම් පද්ධතියට එසැණින් යාවත්කාලීන කිරීමේ හැකියාවද විය. ගේ දොර කටයුතු, භාණ්ඩ ප්‍රවාහනය, නීතිය හා ආරක්ෂාව, වෛද්‍යාධාර සැපයීම, හදිසි සේවාවන් සඳහා විවිධාකාර වූ 'සිෆ්' වරුන් භාවිතා වූ අතර රළු බිම් මතින් ධාවනය වීමට උපයෝගී කර ගන්නා 'දම්වැල් පටි' මගින් චලනය වෙමින් දැරිය හා පියා වෙත පැමිණෙමින් හුන් සිෆ් වරයා 'ජැනිටර්' නමින් හඳුන්වන, භාණ්ඩ ප්‍රවාහනය සඳහාම සකස් කල යන්ත්‍රයක් විය.

මේ අතර යානයේ පිටතින් වූ කවුළුවක් විවර කර දැරියගේ ගමන්මළු ආදිය පිටතට ගනිමින් සිටි පියා ඇගේ අවධානය තමා වෙත නතු කරමින් සිය හඬ අවදි කළේය.

"මොකද කියන්නේ.... මේ බඩු ටික මෙයා අතේ ඔයාගේ පාසල් නේවාසිකාගාරයට ම යවමුද?'

"එහෙම කරන්න පුළුවන්ද?"

පියාගේ පැණයට පිළිතුරක් දීමට ප්‍රථමයෙන් ඈ විමසා සිටියාය.

"ඔව්. අපි ගමනාන්තය කිව්වහම මෙයා භාණ්ඩ එතනට ප්‍රවාහනය කරන්න සලස්වනවා"

පියා ගමන් මළු එකිනෙක සිෆ් වරයාගේ ඉදිරිපස රැඳුණු කූඩයක් ආකාරයේ ව්‍යුහය තුල තැන්පත් කරමින් පැවසීය. සිෆ් වරයාද සිය දෑත් උපයෝගී කර ගනිමින් ඒවා නිසිලෙස සකසා ගන්නා අතර ගමන් මළු අතර රැඳි උරහිසේ රඳවාගත හැකි පටියකින් යුත් කුඩා පසුම්බියක් දුටු දැරිය යුහුසුළුව එය සියතට ගත්තාය. මුදල් භාවිතයක් නොවූ මේ කාලයේ එම පසුම්බිය තුල වූයේ රසකැවිළි කිහිපයක්, ඇගේ කුඩා ජංගම පරිගණක යන්ත්‍රය (පැරණි 'ස්මාට්-දුරකථනයක්' සිහිගැන්වූ මෙම උපාංගය 'එස්.ඩී.ඒ.' හෙවත් ‘Smart Digital Assistant’ ලෙස හැඳින්වීය.) ආදිය වුවද වඩා වැදගත් වූයේ එතුල වූ ඇගේ 'පාසල් හැඳුනුම්පත' යි. අන්තර් ග්‍රහලෝක තැපෑලෙන් එය පැමිණි විට ඈ තුල ඇතිවූයේ ඉමහත් සතුටක් මෙන්ම අභිමානයකි. ඇගේ විස්තර ලෙස එහි සටහන්ව තිබුණේ ඇයගේ නමත්, විදුහලේ නේවාසික කුටියේ අංකය වූ 'අංක තිස් හත' පමණක් වුවත් ඈ එය මහත් උද්දාමයෙන් යුතුව ආරක්ෂා කර ගත්තාය.




( නැවත හමුවෙමු......!)

1 comment:

  1. පට්ට පට්ට.....
    අකුරු තව ටිකක් ලොකු කරහන් මචං....

    ReplyDelete