මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Thursday, June 4, 2015

පෘථිවි ආගමනය - (iv-කොටස)


"මං මේක විතරක් අතේ අරන් යන්නම්.... අනික් බෑග් ටික අපි එහෙනම් ඉස්කෝලෙට යවමු."

අදාල ගමනාන්තය පවසන ලදුව, සිෆ් වරයා ඔවුන්ගෙන් නික්ම යන්නට වූ අතර පියා සහ දැරිය යාත්‍රාංගනය පසක වූ ගොඩනැගිල්ල වෙත පියවර එසවූහ.

ස්වයංක්‍රීය පිරික්සුම් දොරටු පසු කරමින් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි ඔවුන්ගේ දර්ශණ පථයට හසු වූයේ ඉදිරියෙන් ඇදී යන මහාමාර්ගයයි. දෙපසටම රථ වාහන ගමන් කල හැකි සේ තනා තිබූ එහි එක් පසක මං තීරු ද්විත්වය බැගින් වූ අතර සූර්ය බලයෙන් හෝ කෝෂ මගින් ධාවනය වන නිහඬ ස්වයංක්‍රීය රථ ඉන් එක් මං තීරුවකද, පා-පැදි අනෙක් මං තීරුවේද කිසිඳු තද බදයකින් තොරවම ගමන් ගනිමින් පැවතුණි. ලං ලංව ඉදිකොට තිබූ අහස උසට නැගි ගොඩනැගිලි මතින් නොයෙක් හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුත් ගුවන් යානාවෝ තැඹිලි වර්ණිත අහස පසුබිම් කර ගනිමින් ඈතට ඇදී ගියහ. පියා මෙන් නොව, තම සෞරග්‍රහ මණ්ඩලයේ හැර වෙනත් ග්‍රහලෝකයක් මත පා තැබූ ප්‍රථම අවස්ථව මෙය වූ බැවින් යථොක්ත දර්ශණය කුඩා දැරියගේ සිතෙහි ඇති කලේ උද්යෝගයක් මෙන්ම විමතියකි.



පියාගේ මග පෙන්වීම ඔස්සේ වීදියේ හුන් ජනයා අතරින් ගමන්ගත් ඈ තවත් මොහොතකින් මාර්ගයට වඩාත් ආසන්නව පිහිටි ස්වයංක්‍රීය පඩිපෙලක් ආධාරයෙන් භූමියේ සිට අඩි කිහිපයක් ඉහලින් පිහිටි වේදිකාවක් මතට ගොඩවූවාය.

"මේ මොකක්ද?"

විමතිය වදන් වලට හැරවීමට ඈ මොහොතකුදු ප්‍රමාද නොවූවාය.

"බස් රථ නැවතුම් පළක්"

පියා පිළිවදන් දුන්නේය.

"බස් රථ ! ! .... මේ තරම් උඩින් ? ?"

"ඔව්, ඔයාම බලන්නකෝ.... අර එන්නේ...."

පියා සිනාමුසුව නුදුරින් පැමිණෙන රතු හා සුදු පැහැයෙන් පින්තාරු කල රථයක් දක්වමින් පැවසීය.

සැබැවින්ම එය ධාවනය වූයේ මහාමාර්ගයට වඩා අඩි කිහිපයක් උඩිනි. මාර්ගය දෙපස, ඊට සමාන්තරව සවිකර තිබූ පීලි මතින් චලනය වන ආධාරක ද්විත්වයක් මත රැඳවී තිබූ එය සිහිපත් කලේ චලනය වන විසල් බිංගෙයකි. මහාමාර්ගයේ ධාවනය වන අනෙකුත් රථවාහන වලට බාධාවක් නොවී ඊට ඉහලින් සුමටව පැමිණි රථය වේදිකාවේ රැඳී හුන් සියල්ලන්ටම ගොඩ වීමට ඉඩ දෙමින් එයට සමාන්තරව නැවැත්වීය.

සියල්ලෝම අසුන් ගැනීමෙන් අනතුරුව රථය ධාවනය වන්නට වූ අතර කුඩා දැරියට නම් එය අපූර්ව අත්දැකීමක් විය. සුපුරුදු ජනෙල් කවුළු වලට අමතරව සෑම අසුනක් පාමුලම වීදුරුවක් සවිකර තිබූ අතර ඒ ඔස්සේ පහලින් ගමන් ගන්නා රථවාහන හා මිනිසුන් නරඹමින් යාම ඇයට සතුටක් ගෙන දුන්නේය. විටක මාර්ගයේ දෙපස ගමන් ගත් එවන් රථ දෙකක් විරුද්ධ දිශා ඔස්සේ එකිනෙක පසුකර යද්දී ඈ අත වනා යාබද රථයේ සිටියවුන්ට සුභපැතුම් එක් කළාය. ඇගේ පියාද විටින් විට ඇය විමසනා පැණයන්ට පිළිතුරු දෙමින් නුදුරු අසුනට වී සිටියේය.

ක්‍රමයෙන් ඔවුහු නගරබද ප්‍රදේශයෙන් ඈත්වී ගම්බද ප්‍රදේශයක් කරා ලඟාවන බව කවුළුවෙන් දිස්වූ දර්ශණය දෙස් දෙන්නට විය. සරත් සෘතුවේ සුන්දරත්වය සිහිපත් කරමින් මග දෙපස වූ පතනශීලී තුරුලතා සිය වර්ණවත් පත්‍ර සුළඟට ලෙළවමින් සිටියහ. ඇතැම් තැනක තුරු හිස් මතින් බිමට වැටී තිබූ වර්ණවත් පත්‍රයන් ඒ වටා එලූ පලසක් සිහි ගැන්වීය. ගමන් මගෙහි ඇතැම් තැන් හි දී අනන්තය දක්වා විහිදුණු ගොවි බිම් හා තණ බිම් ද, ඒවායේ හුන් සත්වයෝ ද ඇගේ නෙතු මත නාභිගත විය.

 පුරා හෝරා භාගයක පමණ ගමනකින් අනතුරුව ඔවුහු තම ගමනාන්තය කරා පැමිණ සිටියහ. රථයට සමුදී දැවයෙන් තනා තිබූ වේදිකාවක් මතට ගොඩවූ පියා සහ දියණිය පසකින් වූ දැවමය පඩිපෙළ තරණය කොට භූමිය මත පා තැබූහ.



( නැවත හමුවෙමු...... )

2 comments:

  1. එහෙම එකක් මෙහෙත් තිබුනානම් අපිටත් කලාතුරකින් හරි බස් එහෙක වාඩි වෙලා යන්ඩ තිබුනා!

    ReplyDelete
    Replies
    1. ඔයගේ අදහස් වලට ගොඩාක් ස්තූතියි ! රූපේ.... දිගටම රැඳිලා ඉන්න .... :-)

      Delete