මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Sunday, June 28, 2015

අළුත් මිතුරියක් - (iv-කොටස)




"ආ.... ඔව්.... න්.... නෑ.... නෑ.... තමුන්ලට ඒ කථාව අදාල නෑ....."

පියවි සිහියට එළඹෙමින් ජිම් පැවසුවේ දැඩි හඬිනි.

"මට දැන් යන්න වෙනවා.... වැඩ ගොඩක් තියෙනවා.... ගැහැණු ළමයින්ගේ නාන කාමර මේ කොරිඩෝවේ කෙළවරම තියෙනවා.... පාඩම් කාමරය පහළ තට්ටුවේ තියෙනවා.... ඒ වගේම තමයි මතක තියාගන්න, මේ නේවාසිකාගාරයේ විනය ගැන මං බොහොම තදින් හොයා බලනවා...."

හේ පැවසුවේ හසාරා වෙත වැඩි අවධානය යොමු කරමිනි. ඈ කිසිවක් පවසන්නටත් ප්‍රථම ඔවුන්ගෙන් මිදුණු ඔහු කොරිඩෝව දිගේ ඉදිරියට ඇවිද යන්නට විය.


"එයාගේ හැටි එහෙම තමයි"

ඔහුගේ රුව නොපෙනී යන අයුරු බලමින් ෆියෝනා කීවාය.

ජිම් ලබාදුන් යතුරින් හසාරා සිය කුටියේ ද්වාරය විවර කළාය.

"මමත් ඇතුලට එන්නද?"

ෆියෝනා විමසුවාය.

"ඇයි අහන්නේ....? එන්න"

මිතුරු ස්වරයෙන් ඇයට ආරාධනා කරමින්ම හසාරා කුටිය තුලට පිවිසියාය.
එය පියකරු කුඩා කුටියක් විය. දොරටුවට මුහුණලා තිබූ අන්තයෙහි ජනෙල් ද්විත්වයක් වූ අතර ඈතින් වූ තුරු හිස් පෙළක හා ගොඩනැගිලි වහලයක ඡායාවන් ඉන් දෘෂ්‍යමාන විය. කවුළුවෙන් ඇදී ආවේ සැදෑ අඳුර මුසු මන්දාලෝකයක් බැවින් හසාරාට පිටුපසින් කුටියට පිවිසි ෆියෝනා විදුලි බුබුල දැල්වූවාය. මනා ලෙස ආලෝකමත් වූ කුටියේ එක් පසක වූ ඇඳුම් අල්මාරිය හා ලියන මේසයත්, අනෙක් පස වූ සයනය හා පරිගණකයත් ඔවුන් දෙදෙනාගේ දෑස් ඉදිරිපිට සිත්තම් වී ගියේය. සයනය පාමුල හසාරාගේ ගමන්මළු  කිහිපයද විය.

"මේ ඔයාගේ මුල්ම ඉස්කෝලෙද?"

හසාරාගේ හැසිරීම දෙස මොහොතක් වේලා බලා හුන් ෆියෝනා සිය හඬ අවදි කළාය.

"ඔව්. වයස අවුරුදු දා හතරක් වෙනකම් මං ඉගෙනගත්තේ පෞද්ගලික ගුරුවරයෙක්ගෙන්.... ඔයා?"

හසාරා පිළිවදන් දුන්නේ සයනය මත හිඳගනිමිනි. ඒ සමගම ඈ ෆියෝනාටද එහි පැමිණෙන ලෙස සන් කළය.

"මගේ මුල්ම ඉස්කොලේ 'ප්ලේඩීස්' (Pladies)"

ඈ පැවසුවේ සයනය මත හිඳගනිමිනි.

"ඒක කණිෂ්ඨ පාසලක්. මගේ මල්ලිත් දැන් ඉගෙනගන්නේ ඒකේ...."

දැරියන් දෙදෙනා දොඩමළු වෙද්දී සැදෑ අඳුරද ක්‍රමයෙන් ගලා එන්නට විය. ෆියෝනාගේ කථාවෙන් ඈ ඉතා විශ්වාසවන්ත දැරියක් ලෙස හසාරාට හැඟී ගියාය. ඇය සහ දෙමාපියන් හැරුණු කොට ඇගේ පවුලේ වැඩිමහල් සොයුරෙක් හා බාල සොයුරෙක් සිටිනා බවත්, ඔවුහු 'උතුරු නොරෙටෝ' වේ ගොවිපලක් පවත්වාගෙන යන බවත් ෆියෝනා පැවසුවාය. එමෙන්ම තමා නේවාසිකාගාරයට පැමිණ තිබුණේ මීට දින කිහිපයකට ඉහත බැවින් පාසල පිළිබඳව දැනගත් සියළු දේ ද හසාරා හමුවේ තැබූ ඈ අවසානයේ හසාරාගේ ගමන්මළු වල වූ දෑ රාක්කවල පිළිවෙලට ඇසිරීමටද උදව් වූවාය. හෝරා කිහිපයකදී ඔවුහු හොඳ මිතුරන් බවට පත්ව සිටියහ.

තවත් හෝරා කිහිපයක් ගෙවී යද්දී අන්ධකාර සේනාවෝ පරිසරය සිසාරා පැතිර යන්නට වූයේ නිශා යාමයට ලොවම වෙලා ගන්නට ආරාධනා කරමිනි. සියළු වැඩ නිමා වී ඇඟ පත දොවා පැමිණි හසාරා සයනයේ වැතිරී සිටින විටදී හුරු පුරුදු කටහඬක් කොරිඩෝව පුරා රැව් දෙන්නට විය.

"රෑ කෑම වෙලාව.... තමුන්ලා ප්‍රමාද වුණොත් අද රෑට කෑම නෑ...."




(නැවත හමුවෙමු.......)

No comments:

Post a Comment