මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Sunday, June 7, 2015

පෘථිවි ආගමනය - (v-කොටස)

කහ-තැඹිලි පැහැ තුරු මුදුන් මතින් සන්ධ්‍යා හිරු කිරණ නුබ ගැබ සිසාරා පැතිර ගොස් තිබුණි. විටින් විට වලාකුළු වියන් යටින් කැදලි කරා ඇදෙනා සියොතුන් ඒ මත අලංකාර රටා මැවීය. සිහින් මන්ද මාරුතයෝ ගත දැවටෙමින් ජනිත කලේ ප්‍රබොධමත් බවකි. නිශා යාමය එළඹීමට  ඉතිරිව ඇත්තේ තවත් හෝරා කිහිපයක් බැව් සිහිපත් කරන්නට මෙන් රැහැයියන්ගේ නිනොනවතින නාදය වා තලය සිසාර පැතිර යාම ඇරඹී තිබුණි. වියළි පත්‍ර වැටීමෙන් පාවඩ ලූවාක් මෙන් දිස්වන පුළුල් මාවත ඔස්සේ පියාත් දියණියත් ඉදිරියට පා නගන්නට වූහ.



මද දුරක් ගිය පසු ඔවුන්ගේ ගමන යොමුවූයේ දේවදාර වෘක්ෂයන්ගෙන් මනා ලෙස සෙවණ වූ නැග්මකින් යුතු අතුරු මාර්ගයක් වෙතයි. තුරු හිසින් අහස් ගැබ වසාලූ හෙයින් මාර්ගය තුල පැවතියේ තරමක තෙත් සහ අඳුරු ස්වභාවයකි. රැහැයියන්ගේ නාදය ක්‍රමයෙන් ත්‍රීවෘර වෙමින් සවන් පුරවා ඇදී යද්දී තුරු සුවඳ රැගත් වා රැළි නාස්පුඬු අතරින් හමා ගියේය. ඒ සොඳුරු ගැහැට විඳිමින්, මේ අපූරු ලෝකයට වශීවී හුන් දැරිය නිහඬවම සිය පියා පසුපස ගමන් ගත්තාය.

මාර්ගයේ නැග්ම ක්‍රමයෙන් දැඩි වෙද්දී  තවත් මොහොතකින් ඔවුන්ගේ නෙතු අභියස දෘශ්‍යමාන වූයේ එහි අවසානය සනිටුහන් කරනා පුළුල් ගේට්ටු පළු ද්විත්වයකි. ඒ වෙත තව තවත් ලං වත්ම එහි වූ නාම පුවරුව කියැවිය හැකි සේ වඩාත් පැහැදිළිව දර්ශණය වන්නට විය.


        "සැජිටේරියස් උසස් කණිෂ්ඨ පාසල"
             "Sagittarius Junior-High School"


දැරිය මොහොතක් නතරව ඒ දෙස බලා සිටියාය. කිසියම් උද්යෝගයකින් මෙන්ම චකිතයකින්ද තම සිත පිරී යනු ඇයට දැණුනි. පියා වෙත නෙත් හෙලූ ඈ ඔහුගේ මුවෙහි වූ මදහස හඳුනා ගත්තාය.

"ඉතින්...., මේ තමයි ඔයාගේ අළුත් ඉස්කෝලේ...."

ඔහු පැවසුවේ ඇගේ හිස ආදරයෙන් පිරිමදිමිනි.
දැරිය නැවත වරක් පුළුල් ගේට්ටුව වෙත සිය දෙනෙත යොමු කළාය.

'මීට එපිටින් ඇත්තේ කුමන අන්දමේ ලෝකයක්ද?'

ඇය නිහඬවම එය සිතින් මවාගන්නට තැත් කළාය.

"අළුත් වාරයට ඉස්කොලේ හෙටින් පටන් ගන්නවා.... ඔයගේ ඉගෙනීම් කටයුතු හොඳින් කරන්න"

සමුගන්නට සූදානම් වෙමින් පියා පැවසීය.

දැරිය නිහඬවම හිස සැලුවාය.

"පුළුවන් හැම වෙලාවකම මම කථා කරන්නම්...."

සිය දෙනෙත පියා වෙත යොමමින් ඈ පැවසුවාය. ඔවුන් දෙදෙනාගේම දෑස් වලින් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ ශෝකය සියුම් ලෙස සනිටුහන් විය.

"හොඳයි...., හැබැයි ඔයාගේ වැඩ පාඩු කරගන්නේ නැතිව."

දෙපා නැමද පියාගෙන් සමුගත් දැරිය ගේට්ටුව අභියසට පැමිණ නැවත ඔහු වෙත නෙත් හෙළීය.

තවත් මොහොතකින් මේ පුළුල් ද්වාරය ඇය වෙනුවෙන් විවර වනු ඇත. මෙතෙක් කල් මා-පිය ඇසුරේ කෙළිදෙළෙන් ගතකල කාලය නිමා වී අළුත් පිරිසක් සමග, අළුත් ලොවක් වෙත ඈ පිය නගනු ඇත.

පියා අත වනා ඇයට සුභපැතුම් එක් කල අතර ඇයද සුරත වනා ගේට්ටුව විවර කරමින් පාසල් බිම තුල ඇගේ මුල්ම පියවර සනිටුහන් කලාය.




(අළුත් කොටසකින් නැවත හමුවෙමු.....)





2 comments:

  1. මදි මදි.....එකපාරට ලියන ප්‍රමාණේ හොදටම මදි බන්!!
    ටක් ගාලා ඉවර වෙනවානේ?

    ReplyDelete
  2. ඒක නම් ඇත්ත තමයි ! මටත් දැනුයි තේරුණේ. ඊළඟ පෝස්ට් එකේ ඉඳන් ටිකක් දිගට ලියන්නම්.
    ගොඩක් ස්තූතියි රූපේ.... ආපහු ඇවිත් යන්න එන්න..... :-)

    ReplyDelete