මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Wednesday, July 29, 2015

පාගමනක්



සිය ප්‍රථම පාසල් දිනය ආරම්භයේදී තරමක චකිතයක් හසාරාගේ සිත තුල තිබුණද දිනය ගෙවී යද්දී එය යටපත් කරමින් ප්‍රීතිය මුසු හැඟීම් පෙළක් නැගී එන්නට විය. එම හැඟීම් පෙළ දෙගුණ තෙගුණ වූයේ පාසල අවසන් කිරීමට තවත් හෝරාවක් පමණ තිබියදී ගුරුවරිය ඉදිරිපත් කල අපූරු අදහසක් නිසාවෙනි.

"මොකද කියන්නේ.... අපි ටිකක් ඇවිදින්න යමුද?"

සිසුහු එක හඬින් එයට කැමැත්ත ප්‍රකාශ කළහ. මුළු උදය වරුවේම ජිම් සමග පාසල් බිමේ අස්සක් මුල්ලක් නෑරම නැරඹූ ඔවුහු තවත් නොබැලූ තැනක් ඇත්දැයි කුහුලකින්ද යුතුව ගුරුවරිය සමග ගමන් ගත්හ. නමුත් ඈ ඔවුන්ව රැගෙන ගියේ පාසලේ එක් අන්තයක වූ පටු මාවතක් වෙතටයි. පාසල වටා පිහිටි වනාන්තරය තුලට ගමන් ගත් එය වර්ණවත් වියළි ශාක පත්‍ර වලින් වැසී ගොස් තිබුණි.

Saturday, July 25, 2015

අපූරු පාසලේ පළමු දිනය - (ii-කොටස)



"තරු රටා පාසල් ජාලයේ අනෙකුත් පාසල් වලට වඩා තරමක් වෙනස්, සුවිශේෂී පාසලක් විදිහට සැජිටේරියස් පාසල හඳුන්වන්න පුළුවන්. ඉන් ප්‍රධානම දේ තමයි 'ශිෂ්‍ය රුචිකත්වය' ට මුල් තැන දෙන ඉගැන්වීම් ක්‍රමවේදයක් මෙහි භාවිත කිරීම. මේ ක්‍රමයේදී ශිෂ්‍යයාට පාසල් පරිපාලනයෙන් ලබාදෙන කාලසටහනට අනුගතව විෂයන් ඉගෙනගන්නවා වෙනුවට තමන් කැමති වේලාවකදී කැමති විෂයයක් හැදෑරීමේ අවස්ථාව ලබා දෙනවා. සෑම වාරයක් ආරම්භයේදීම එම වාරයට අදාල විෂයන් හා එම විෂයන් සඳහා වෙන්කොට ඇති කාලඡේද ප්‍රමාණය පිළිබඳ ලේඛණයක් සිසුන්ට ලැබෙන අතර තමන් කැමති ආකාරයට සතියේ දින වලට විෂයන් බෙදාගෙන හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමිවෙනවා....

Friday, July 17, 2015

අපූරු පාසලේ පළමු දිනය - (i-කොටස)



තමාට නින්ද ගියාදෝ, නොගියාදෝ යි සැකයකින් යුතුව වෙනදාටත් වඩා වේලාසනින් හසාරා අවදි වූවාය. එදින කවදාදැයි සිහිපත් වෙත්ම සිරුර පුරා දිවගිය ප්‍රබෝධවත් හැඟීම ඇගේ නිදිමත ක්ෂණයකින් පළවා හැරියේය. මුව දොවා ගැනීමට, කුටියෙන් නික්මී කොරිඩෝව වෙත පා තබනවාත් සමගම ඇගේ දෑස් මත සිත්තම් වූවේ නානකාමරය පිහිටි ඉසව්වේ සිට සිය කුටියට පියමනිනා ෆියෝනාගේ රුවයි. ඇය අවදිව ඇත්තේ තමාටත් පෙරාතුවයි.

"සුභ උදෑසනක් ! ඊයේ රෑ හොඳට නින්ද ගියාද?"

හසාරා දුර සිටම විමසා සිටියාය.

"සුභ උදෑසනක් ! මං හිතන්නේ මට පැය දෙකක්, තුනක් වගේ නම් හරියට නින්ද යන්න ඇති."

ෆියෝනා පිළිතුරු දුන්නේ සිනාමුසු මුහුණෙනි.
 

Friday, July 10, 2015

අළුත් මිතුරියක් - (v-කොටස)



ඈ යුහුසුළුව කුටියෙන් නික්මී ජිම් පසුපසින් යන්නාවූ නවක සිසුන් අතලොස්සට එකතු වූවාය.

"හැමදාම.... එකම රටාව...."

ඈ පසුපසින් හුන් ෆියෝනා තාලයකට පැවසුවාය.

හසාරා හා ෆියෝනා හැරුණු කොට තවත් සිසුන් තිදෙනෙකුගෙන්ද, සිසුවියන් දෙදෙනෙකුගෙන්ද නවක සිසු පිරිස සමන්විත විය. ඔවුහු නේවාසිකාගාරයෙන් නික්මී කෘත්‍රිම ආලෝක ප්‍රභව වලින් අඳුර පළවා හරිනු ලැබූ, දිගු සෙවණැලි වලින් රටා මැවුණු විදුහල් බිම ඔස්සේ ජිම් අනුව පා නගන්නට වූහ. හාත්පස වෙලාගෙන පැවති නිහඬතාවය බිඳ දමමින් තරඟයට මෙන් නැගුණු නිශාචර කෘමීන්ගේ හඬ ඔවුන්ගේ සවන්පෙති සිසාරා ඇදී ගියේය. අවසානයේ ඔවුහු විදුලි බුබුලු වලින් ආලෝකවත් කර තිබූ ගොඩනැගිල්ලක් වෙත පැමිණියහ. එය විදුහලේ ආපනශාලාව විය.