මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Wednesday, July 29, 2015

පාගමනක්



සිය ප්‍රථම පාසල් දිනය ආරම්භයේදී තරමක චකිතයක් හසාරාගේ සිත තුල තිබුණද දිනය ගෙවී යද්දී එය යටපත් කරමින් ප්‍රීතිය මුසු හැඟීම් පෙළක් නැගී එන්නට විය. එම හැඟීම් පෙළ දෙගුණ තෙගුණ වූයේ පාසල අවසන් කිරීමට තවත් හෝරාවක් පමණ තිබියදී ගුරුවරිය ඉදිරිපත් කල අපූරු අදහසක් නිසාවෙනි.

"මොකද කියන්නේ.... අපි ටිකක් ඇවිදින්න යමුද?"

සිසුහු එක හඬින් එයට කැමැත්ත ප්‍රකාශ කළහ. මුළු උදය වරුවේම ජිම් සමග පාසල් බිමේ අස්සක් මුල්ලක් නෑරම නැරඹූ ඔවුහු තවත් නොබැලූ තැනක් ඇත්දැයි කුහුලකින්ද යුතුව ගුරුවරිය සමග ගමන් ගත්හ. නමුත් ඈ ඔවුන්ව රැගෙන ගියේ පාසලේ එක් අන්තයක වූ පටු මාවතක් වෙතටයි. පාසල වටා පිහිටි වනාන්තරය තුලට ගමන් ගත් එය වර්ණවත් වියළි ශාක පත්‍ර වලින් වැසී ගොස් තිබුණි.


"මේක හඳුන්වන්නේ 'මහා වීල්ඩ්' වනාන්තරය කියලයි. ඒ වගේම මේක අභය භූමියක්. ඔයාලා එකිනෙකා එක්ක කථාබහ කලාට කමක් නැහැ. හැබැයි කෑ ගහන්න නම් එපා...."

පටු මාවත ඔස්සේ වනාන්තරය වෙත පියනගමින් ගුරුවරිය සිය හඬ අවදි කළාය. සිසුහුද උනුන් හා දොඩමළු වෙමින් ඇය පසුපසින් එක පෙළට ගමන් කරන්නට වූහ. සරත් සමයේ සුන්දරත්වය කියාපාමින් කහ, තැඹිළි, රතු ආදී නේක වර්ණයෙන් යුතු පත්‍ර දරමින් හුන් තුරුලතා මද සුළඟ හමුවේ ඒ මේ අත නැළවුණි. තවත් සුළු මොහොතකින් වනාන්තරය තුලින් ඇදීයන ඉපැරණි දුම්රිය මගක සළකුණු කියාපාන රේල්පීලි ද්විත්වයක් ඔවුන්ගේ නෙත ගැටුණි. අධිවේගී දුම්රිය මාර්ග තවමත් භාවිත වූ බැවින් දුම්රිය මගක් යනු සිසුන්ට නවමු දෙයක් නොවූවද යකඩ රේල්පීලි පමණක් භාවිතා වූ මෙම දුම්රිය මාර්ගය භාවිතා කරන්නේ කවර අන්දමේ දුම්රියක් දැයි ඔවුහු විමතියටත්, කුතුහලයටත් පත්වූහ.

"මේක බොහොම පැරණි දුම්රිය මාර්ගයක්."

සිසුන්ගේ සිතැඟි තේරුම්ගත් ගුරුවරිය පැවසුවාය.

"තුන්වන ලෝක යුද්ධය කාලේ වෙනකොටත් ලෝකයේ බොහෝ ප්‍රධාන නගරවල විද්‍යුත් චුම්භක දුම්රිය භාවිතා වුණා.... නමුත් මේ දුම්රිය මාර්ගය ඊටත් වඩා පැරණි එකක්. ලෝක යුද්ධයටත් බොහෝම කාලයකට ඉස්සර ඉන්ධන බලයෙන් ධාවනය වන ගම්බද දුම්රිය සේවාවක් සඳහා යොදාගත්ත දුම්රිය මාර්ගයක් මේක."

සිසුහු දුම්රිය මගට අවතීර්ණ වී ඒ ඔස්සේ පා නගන්නට වූහ. සිල්පර කොටයෙන් කොටයට පැන පැන යාම, රේල් පීල්ල මත සමබරව වැඩි දුරක් යාම ආදී නොයෙකුත් ක්‍රියාකාරකම් ඔවුනට මහත් විනෝදාස්වාදයක් ගෙන දෙන්නට සමත්විය. එසේ වුවද කිසිවෙකුත් ශබ්ද නගා කථා නොකිරීමට හෝ සිනා නොවීමට වගබලා ගත්හ.

දුම්රිය මාර්ගය පුරාවට වර්ණවත් පත්‍ර පතිතවී තිබුණි. සිසුහු ඒවා අහුලා ගනිමින්ද, එකිනෙකා අහුලාගත් පත්‍රවල වර්ණ සසඳමින්ද ගමන් ගන්නා අයුරු දුටු ගුරුවරිය සිය හඬ අවදි කළාය.

"ඔයාලා දන්නවද ගිම්හාන කාලෙදී හරිත වර්ණයෙන් බබලන කොළ කොහොමද සිසිරය වෙද්දී කහ පාටට හැරෙන්නේ කියලා...?"

නමුත් කිසිවෙකුත් එය දැනසිටියේ නැත. දුම්රිය මග ඔස්සේ ගමන් ගන්නා අතර ඒ සඳහා හේතුවන විද්‍යාත්මක කරුණු ඈ ගෙනහැර පෑවාය. හරිත වර්ණය ඇතිකරන 'ක්ලෝරෆීල්' නැමැති වර්ණකය හා එය නැතිවී ගොස් සෙසු වර්ණක මතුවන අයුරු ඈ පහදා දුන්නාය.

තවත් විනාඩි දහයක පමණ ගමනකින් පසු දුම්රිය මගට පසකින් වූ විශාල, ගරා වැටුණු ගොඩනැගිල්ලක් ඔවුන්ගේ නෙතු ඉදිරියේ දෘශ්‍යමාන විය. කිසිවෙකුගේ පිළිසරණක් නොලැබූ එය ක්‍රමයෙන් වනස්පතීන්ගේ ග්‍රහණයට නතු වෙමින් පැවතුණි. සිමෙන්තියෙන් ගොඩනංවා තිබූ එහි බිත්ති මත පාසි හා ඇල්ගී වර්ග වැඩෙමින් පැවති අතර භූමිය වියළි පත්‍ර වලින් ගහණ විය. එසේ වුවද කලකදී එය හොඳින් නඩත්තු කර, ජනාකීර්ණව පැවති බවට දෙස් දුන් සාධකද දෘශ්‍යමාන නොවූවාම නොවේ. එතරම් ගමන් විඩාවක් නොවූවද ගොඩනැගිල්ලේ ඉදිරිපස, තවමත් දිරාපත් නොවී තිබූ දිගු අසුන් පිසදා හිඳගැනීමට සිසුහු යුහුසුළු වූහ.

"මේක තමයි ඒ කාලේ මේ දුම්රිය මාර්ගයේ තිබුණු ප්‍රධානතම නැවතුම්පළ."

ගුරුවරිය පැවසුවාය.

"ඔයාලා මේක ඇතුලේ එහා මෙහා යනවට නම් මම කැමති නැහැ"

දුම්රිය ස්ථානයට පිටුපසින් අතහැර දැමූ දුම්රිය එන්ජිමක් හා මැදිරි කිහිපයක් තුරුලතාවන්ගේ දැඩි ග්‍රහණයට නතුව දිරායමින් පැවතුණි. කිසියම් පාළු, මූසල බවක් මුළු නැවතුම්පළම වෙලාගෙන ඇතැයි හසාරාට හැඟී ගියාය.

"මේකේ හොල්මන් තියෙනවද දන්නේ නැහැ...."

සිසුවෙක් බියපත් ස්වරයෙන් පැවසීය.

සැබැවින්ම විද්‍යාව හා තාක්ෂණය කෙතරම් දියුණු වූවද නොපෙනෙන බලවේග කෙරෙහි මනුෂ්‍යයා තුල පවතින සැළකිල්ල ඉවත් කිරීමට නම් තවත් බොහෝ කලක් ගතවනු ඇත.

හසාරාටද එය නොහැඟුණා නොවේ. එබැවින් ඉක්මනින්ම ආපසු යාමට ඇයට අවැසි විය. නමුත් ඇගේ මිතුරිය; ෆියෝනා නම් මහත් උනන්දුවෙන් යුතුව ඒ මේ අත සැරිසරමින් සිටියාය.

ආපසු පාසල වෙත පැමිණෙද්දී ගුරුවරිය විසින් දුම්රිය හා එමගින් ඇතිවූ ආර්ථික සහ සාමාජීය පුනරුදය පිළිබඳව සිසුන්ට වටහා දුන්නාය. එකල්හි සමාජයේ පැවති පන්ති භේදයත්, එනිසාම දුම්රිය මැදිරි පවා පන්ති වලට වෙන්කොට තිබූ අන්දමත්, නිර්ධන පන්තියේ ජනයා මතින් සමාජය ඉදිරියට ගමන් ගත්තාක් මෙන් දුම්රියේද තෙවන පන්තියේ මැදිරිය පළමු හා දෙවන පන්තියේ මැදිරිද ඇදගෙන ගමන් කළ බව පවසමින් ඈ කළ විග්‍රහය හසාරාගේ සිත් ගත්තාය.

මින් ඉදිරියටත් බොහෝ දිනවල සවස් වරුවේ යෙදුණු මෙවන් ගමන් තුලින් පන්ති කාමරය තුල සිරවී කරන ඉගෙනීමට වඩා බොහෝ ප්‍රායෝගික දේ අත්දැකිය හැකිබැව් සිසුන්ට එතරම් දුරට නොවැටහෙන්නට ඇත. ඔවුහු එකිනෙකා සමග දොඩමළු වෙමින්, සිනාසෙමින් ගමන් ගත්හ. විහඟ ගී රාවයද රැගෙන හමා ආ මන්ද මාරුතයෝ ඔවුන්ගේ ගත රැඳි දාහයද දවටා ගනිමින් ඈතට ඇදී ගියහ. ඉඳහිට වියළි පත්‍ර කිහිපයක් තුරු හිසින් මිදී රළු පොළව මත සැතපී සිටි සිය සමීපතමයන් හා එක් විය. නැවත පාසල් බිම වෙත පා තබත්ම  පාසල අවසන් කරන බව හඟවන සීනු නාදය ඔවුන්ගේ සවන් කරා ඇදී ආවේය.

එදින තරමක් වෙහෙසකාරී වුවද හසාරාගේ සිත සතුටින් ඉපිලී තිබුණි. රාත්‍රී නින්දට යාමට ප්‍රථම එළඹෙන දිනයේ තම කාලසටහන සාදා ජාලගත කිරීමෙන් ඉක්බිතිව පියා වෙත යැවූ 'වීඩියෝ පණිවිඩයේ' මේ නවමු අත්දැකීම් පිළිබඳව සඳහන් කිරීමට ඈ අමතක නොකළාය. සැබැවින්ම, මෙය නම් අපූර්ව පාසලකි. සයනයට වී, උද්යෝගිමත්  සිතුවිලි සයුරේ කිමිදෙමින් හුන් ඈ තවත් මොහොතකින් නිදි දෙව්දුව සමග ඒකාත්මික වූවාය.


(අළුත් කොටසකින් නැවත හමුවෙමු....)

1 comment:

  1. හැමෝටම ගොඩක් ස්තූතියි !
    ඊයේ මගේ බ්ලොග් එකේ viewers ලා ගාණ 1000 ක් වුණා... ඒ හින්දා තමයි ඉක්මනටම තවත් පෝස්ට් එකක් දාන්න කල්පනා කලේ.... :-)
    මේ විදිහට දිගටම රැඳිලා ඉන්න...
    සුභ දවසක් !

    ReplyDelete