මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Friday, July 17, 2015

අපූරු පාසලේ පළමු දිනය - (i-කොටස)



තමාට නින්ද ගියාදෝ, නොගියාදෝ යි සැකයකින් යුතුව වෙනදාටත් වඩා වේලාසනින් හසාරා අවදි වූවාය. එදින කවදාදැයි සිහිපත් වෙත්ම සිරුර පුරා දිවගිය ප්‍රබෝධවත් හැඟීම ඇගේ නිදිමත ක්ෂණයකින් පළවා හැරියේය. මුව දොවා ගැනීමට, කුටියෙන් නික්මී කොරිඩෝව වෙත පා තබනවාත් සමගම ඇගේ දෑස් මත සිත්තම් වූවේ නානකාමරය පිහිටි ඉසව්වේ සිට සිය කුටියට පියමනිනා ෆියෝනාගේ රුවයි. ඇය අවදිව ඇත්තේ තමාටත් පෙරාතුවයි.

"සුභ උදෑසනක් ! ඊයේ රෑ හොඳට නින්ද ගියාද?"

හසාරා දුර සිටම විමසා සිටියාය.

"සුභ උදෑසනක් ! මං හිතන්නේ මට පැය දෙකක්, තුනක් වගේ නම් හරියට නින්ද යන්න ඇති."

ෆියෝනා පිළිතුරු දුන්නේ සිනාමුසු මුහුණෙනි.
 

ජිම්ගේ කාලසටහනට අනුවම යමින් සූදානම් වී, නේවාසිකාගාරයෙන් පිටතට පා තබත්ම මෙතෙක් නොදුටු වෙනසක් පාසල් බිම පුරා පැතිරී ඇති අයුරු ඔවුන්ගේ නෙත ගැටුණි. මෙතෙක් කාලයක් ජන ශූණ්‍යව තිබූ පාසල් බිම පුරා සිසුන්ගේ රූ දර්ශණය විය. විහඟ ගී වලට පමණක් ඉඩ දුන් වාතලය දැන් සිසුන්ගේ කතාබස් වලින් හා සිනහ හඬින් බර වී තිබුණි. ආපනශාලාවේ පවා සිසුහු පිරී සිටියහ. මෙතෙක් දිනක් නිද්‍රාශීලීව තිබූ පාසල, නව පණක් ලැබ අවදි වූවාක් වැනිය.

අවසානයේ හසාරා සිය මිතුරියද සමග රැස්වීම් ශාලාව වෙත පැමිණියාය. මනාලෙස සරසා තිබූ ශාලාවේ අසුන් බොහොමයක් මේ වන විට ඔවුන් වැනිම වූ නවක සිසු සිසුවියන් විසින් අත්පත් කරගෙන සිටියහ. වේදිකාව මතද අසුන් පෙලක් වූ අතර, පසකින් සරසන ලද පීඨිකාවක් ද විය. ඔවුන් දෙදෙනා අසුන් ගැනීමෙන් මොහොතකට පසුව විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන් කිහිපදෙනෙක්ද ශාලාව වෙත පැමිණියහ.

සියළුම ආගමික ශ්‍රාස්තෘවරුන් හා නව ලොව ගොඩනැගූ විරුවන් සිහිපත් කිරීමට පැවැත්වූ මොහොතක නිහඬතාවයකින් අනතුරුව රැස්වීම ආරම්භ වූ අතර, ඉන් අනතුරුව සභාව ඇමතූයේ විදුහල්පතිතුමාය. තැනින් තැන පැසීයාම  නිසා අළු පැහැයට හැරුණු කොණ්ඩයකටද, මුහුණ පුරා වැවුණු එම පැහැයෙන්ම වූ රැවුලකටද හිමිකම් කී හේ පැහැපත් සමකින් යුතු තරමක් තරබාරු පුද්ගලයෙක් විය. හසාරා පසුව දැනගත් පරිදි ඔහු  මහාචාර්ය ජෝන් ෆ්‍රාන්ස් පැට්‍රික් වූ අතර ඔහුගේ කණිටු දියණියද ඇගේ පන්තියේම අධ්‍යාපනය හැදෑරුවාය.

"සුභ උදෑසනක් සියළු දෙනාටම...."

ඔහුගේ ගැඹුරු කටහඬ රැස්වීම් ශාලාව සිසාරා පැතිර යන්නට විය.

" 'තරු රටා' පාසල් ජාලයට අනුබද්ධිත 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලය' ට නවක සිසු දරුවන් ලෙස ඉදිරි අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ඔබ සියළු දෙනාවම මා සාදරයෙන් පිළිගන්නවා....

නූතන ලෝකයේ, අධ්‍යාපනය ලැබීමට අසීමාන්තික අවස්ථාවන් ඇති බව ඔබ අප සියල්ලන්ම හොඳින් දන්නා කාරණයක්. විසල් දැනුම් පද්ධති, පුස්තකාල, නවතම යාවත්කාලීනයන් සියල්ලම ප්‍රධාන පරිගණකය ඔස්සේ අපට ලබා ගැනීමේ අවකාශ තිබෙනවා. මේ ඔස්සේ බොහෝ දරුවන් අද ස්වයං අධ්‍යාපනය හෝ පෞද්ගලික ගුරුවරුන්, සිෆ් වරුන් හරහා අධ්‍යාපනය හදාරනවා.... බොහෝ විට ඔබ අතරත් ඒ අයුරින් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ අය සිටිනවා ඇති. නමුත් පාසලක් තුලින් අප බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය පමණක්ම නොවෙයි, ප්‍රධාන වශයෙන්ම ඔවුන් සමාජයට අනුගත කරවීම, සාමූහිකත්වය, පිරිසක් සමග එක් අරමුණක් උදෙසා ක්‍රියාකරන ආකාරය හුරු කරවීම වගේම ක්‍රීඩා කුසලතාවයන්, නිර්මාණශීලී හැකියාවන් ආදිය වර්ධනය කරලීමත් පාසලක් තුලින් අප බලාපොරොත්තු වෙනවා.... ඒ නිසයි වර්තමානයේ පවා පාසල් අධ්‍යාපනය අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙන්නේ.... විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන් අවම වශයෙන් උසස් පාසලකට හෝ ඇතුලත්ව අධ්‍යාපනය හදාරා තිබිය යුතුමයි.

සෑම දෙනාටම නොමිළයේ හිමිවන 'අධ්‍යාපනයේ අයිතිය' සාක්ෂාත් කරගනු වස් ගොඩනගන ලද පාසල් පද්ධති අතර එක් පාසල් පද්ධතියක් ලෙස 'තරු රටා' පාසල් ජාලය හඳුන්වන්නට පුළුවන්. ප්‍රධාන පරිගණකය යටතේ 'මාතෘ භූමියේ' ආරම්භ වූ ප්‍රථම පාසල් ජාලය ලෙසත් මෙය සැලකෙනවා. කණිෂ්ඨ විද්‍යාල තුනක්, උසස්-කණිෂ්ඨ විද්‍යාල පහක් හා උසස් විද්‍යාල හතරක් ඇතුළු පාසල් දොළහකින් මෙම පාසල් ජාලය සමන්විත වෙනවා.... මෙම පාසල් 'තරු රටා පාසල්' ලෙස හඳුන්වන්නේ ඒවාට ලබා දී ඇත්තේ රාශි චක්‍රයට අයත් තරු රටා වල නම් නිසයි.

අනෙකුත් සෑම පාසලක් මෙන්ම තරු රටා පාසල් ජාලයද අන්තර්ජාලය ඔස්සේ එකිනෙක හා සම්බන්ධ වී තිබෙනවා. එමෙන්ම සෑම පාසලකටම ඊට අදාල පරිගණක ජාලයක් පවතින අතර ඒ ඔස්සේ තම දැනුම, තොරතුරු, පණිවිඩ හුවමාරුව මෙන්ම ඔබගේ පැවරුම් ආදියද අදාල ගුරුවරුන්ගේ පරිගණක වෙත යැවීමේ හැකියාව පවතිනවා...."

විදුහල්පතිතුමා විස්තර කරගෙන යන්නට විය.


(නැවත හමුවෙමු....) 

No comments:

Post a Comment