මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Saturday, July 25, 2015

අපූරු පාසලේ පළමු දිනය - (ii-කොටස)



"තරු රටා පාසල් ජාලයේ අනෙකුත් පාසල් වලට වඩා තරමක් වෙනස්, සුවිශේෂී පාසලක් විදිහට සැජිටේරියස් පාසල හඳුන්වන්න පුළුවන්. ඉන් ප්‍රධානම දේ තමයි 'ශිෂ්‍ය රුචිකත්වය' ට මුල් තැන දෙන ඉගැන්වීම් ක්‍රමවේදයක් මෙහි භාවිත කිරීම. මේ ක්‍රමයේදී ශිෂ්‍යයාට පාසල් පරිපාලනයෙන් ලබාදෙන කාලසටහනට අනුගතව විෂයන් ඉගෙනගන්නවා වෙනුවට තමන් කැමති වේලාවකදී කැමති විෂයයක් හැදෑරීමේ අවස්ථාව ලබා දෙනවා. සෑම වාරයක් ආරම්භයේදීම එම වාරයට අදාල විෂයන් හා එම විෂයන් සඳහා වෙන්කොට ඇති කාලඡේද ප්‍රමාණය පිළිබඳ ලේඛණයක් සිසුන්ට ලැබෙන අතර තමන් කැමති ආකාරයට සතියේ දින වලට විෂයන් බෙදාගෙන හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමිවෙනවා....


ඔබ ගණිතයෙන් දවස ආරම්භ කරන්නට කැමති නම් පළමු කාලඡේදය ඒ සඳහා වෙන්කර ගත හැකියි. තවත් කෙනෙක් විද්‍යාවට කැමති නම් ඔහුට එය පළමු කාලඡේදය කර ගත හැකියි. මෙහිදී සිසුන්ට එම විෂයන්ට අදාල ස්ථාන; උදාහරණයක් ලෙස ගණිතාගාරය, විද්‍යාගාරය වෙත ගොස් ඒවා හැදෑරිය හැකියි. ඒ ඒ අංශයන්ට පත්කරන ලද ප්‍රධාන ආචාර්යවරයෙක් ඇතුළු දක්ෂ ආචාර්ය මණ්ඩලයක් සිටින බැවින් එක් එක් සිසුවා කෙරෙහි විශේෂ අවධානයක් ද මේ ක්‍රමයේදී ලබාගත හැකියි. අප විද්‍යාලයේ පළමු වසර සිසු සිසුවියන්ට මෙම 'ශිෂ්‍ය රුචිකත්ව' ඉගෙනුම් ක්‍රමවේදයට පූර්ණව ලඟා වීමට නොහැකි වුවත් ඉතිහාසය, සාහිත්‍යය වැනි අනිවාර්ය විෂයන් හැරුණු කොට අනෙකුත් විෂයන් සඳහා දවසේ කැමති වේලාවක් තෝරාගැනීමේ හැකියාව පවතිනවා.... මෙහිදී සැළකිය යුතු වැදගත්ම කාරණය වන්නේ සෑම දිනයකම ඔබේ රුචිකත්වය අනුව විෂයන් පෙළගස්වන ලද කාලසටහන ඊට පෙර දිනයේදී පරිගණකය හරහා පාසලේ ප්‍රධාන පරිගණකයට යොමු කිරීම අනිවාර්ය බවයි.

එමෙන්ම සැජිටේරියස් පාසලේ සුවිශේෂීත්වයට බලපාන අනෙක් කාරණය වන්නේ මෙම විද්‍යාලය අනෙකුත් පාසල් වලට සාපේක්ෂව ඉතාමත් දර්ශණීය ප්‍රදේශයක පිහිටා තිබීම. මෙම රැස්වීම අවසානයේ අප පාසලේ ශාරීරික අධ්‍යාපනය විෂය භාර මෙර්බෙට් මහතාගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබෙන පාසල් බිම හඳුන්වාදීමේ චාරිකාවේදී මේ සුන්දරත්වය ඔබටම නැරඹිය හැකියි. එමෙන්ම මෙහිදී අදාල දේශණ ශාලා, පරීක්ෂණාගාර, පංති කාමර ආදියත් ඔබට හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා....

එසේනම් ඔබගේ අධ්‍යාපන කටයුතු වඩා සාර්ථකව සිදුකර ගැනීමට හැකිවේවා ! යි සුභපතමින් මා නිහඬ වෙනවා.... ස්තූතියි !"

විදුහල්පතිතුමාගේ කථාවෙන් අනතුරුව රැස්වීමේ වැඩකටයුතු නිමාවූ අතර නවක සිසු සිසුවියන් නොතිත් කුහුලින් යුතුව පාසල්බිම නැරඹීම සඳහා රැස්වීම් ශාලාව ඉදිරිපස පෙළගැසෙන්නට වූහ.

හසාරා සහ ෆියෝනා ද ඇතුළුව නවක කණ්ඩායමට සිසු සිසුවියන් දහ අට දෙනෙක් ඇතුලත් වූහ. එකිනෙකා සමග දොඩමළු වන ඔවුන්ගේ උද්යෝගිමත් හඬ පරයමින් ජිම් ගේ කටහඬ නැගී ආවේය.

"හරි..., යන්න කලින් තමුන්ලට වැදගත් දෙයක් කියන්න ඕනා.... මේක විනෝද චාරිකාවක් නෙවෙයි. ඒ නිසා හැමෝම හොඳින් හැසිරෙන්න වගබලා ගන්න."

ඔහු පෙරටු කොට ගත් සිසු පිරිස ගණිතාගාරය, විද්‍යාගාර සහ දේශණ ශාලා වෙත ගමන් ගත් අතර ඒවායේ හුන් ප්‍රධානාචාර්ය වරයා සහ සෙසු ආචාර්යවරුන් සිසුන්ව උණුසුම් අයුරින් පිළිගනිමින් තම තමන්ව හඳුන්වා දුන්හ. නමුත් මේ සියල්ලටම වඩා සිසුන්ගේ උද්යෝගය වැඩි වූයේ ඔවුහු පාසල පිහිටා තිබූ කුඩා කඳුගැටයේ ඉහලටම නැගි විටදීය. ඔවුන්ගේ එක් පසකින් පාසල වටකොට පිහිටි, සරත් සමය නිසා නෙක පැහැ ගත් තුරු හිස් වලින් බබලන වනාන්තරය වූ අතර අනෙක් පසින් නිල්මිණි කැටයක් මෙන් දිදුළන මහා සාගරය විය. රන්වන් පැහැ වෙරළ තීරයට ආසන්නව ජල තලය මතින් උස්ව නැගි ගල් පර්වත සමූහයක් වූ අතර නිරන්තරව ජලයෙන් බැට කමින් ඛාදනයට ලක්වීම හේතුවෙන් ඒවා දර්ශණීය හැඩයන් ඉසිලීය. නොගැඹුරු වෙරළ තීරයේ ඒවා පිහිටා තිබුණේ වෙරළ සීමාවට ආරක්ෂාව සපයන සෙල් පිළිම සමූහයක් සිහිගන්වමිනි. මුහුදු වෙරළ වෙත යාමට විදුබිමේ  සිට පැහැදිළි මාවතක් වූවද නිරන්තරයෙන් සිසුන් ගමන් කිරීම නිසා කඳු මුදුනේ සිට ද ඒ වෙත පඳුරු අතරින් කුඩා අඩිපාරක් නිර්මාණය වී තිබුණි.

"මේ තමයි 'සී-පෝට්' මුහුදු වෙරළ"

අඩිපාර ඔස්සේ පියනගමින් ජිම් පැවසීය.

"මේ හරියේ මුහුදු තීරය ඒ තරම් ගැඹුරු නැහැ. නමුත් වෙරළ දිගේ දකුණට යනකොට මුහුදු තීරය ගැඹුරු හරියක් හම්බ වෙනවා.... ඒ පැත්ත 'සර්ෆින්' වලට කියාපු තැන."

සිසු සිසුවියන් සියල්ලෝම ඔහු අනුව පා නගන්නට වූහ.

"මෙහෙම කියනකොට මට මතක් වෙනවා මම 'ආධුනික සර්ෆින් කුසලානය' දිනාගත්ත කාලේ...."

"ෂා.... ! ! නියමයි.... ! ! ඔයා සර්ෆින් කරලා තියෙනවද මර්බෙට් මහත්මයා?"

ජිම් ගේ කථාවට බාධා කරමින් සිසු පිරිස අතරින් කිසිවෙක් විමසා සිටියේය.

"ආ.... න්.... නෑ.... ඔව්, ඔව්  නමුත් තමුන්ලට ඒ කථාව අදාල නෑ...."

හේ යුහුසුළුව පිළිවදන් දුන්නේය.

අවසානයේ සියල්ලෝම වෙරළ තීරය වෙත පැමිණ සිටියහ. සුළං ප්‍රවාහයෝ ඔවුන්ගේ හිසකෙස් අවුල් කර දමමින් ඈතට හමා ගිය අතර සුළඟට හසුවූ ඔවුන්ගේ ඇඳුම් ලෙලදෙන්නට විය. වෙරළේ හැපී බිඳී යන මුහුදු රළ මුණු මුණු හඬ නගමින් සියල්ලන්ගේම දෙපා තෙමමින් ඇදී ගියේය.

එතරම් ජනාකීර්ණ නොවූ එම මුහුදු තීරය සති අන්ත දින වලදී සැජිටේරියස් පාසලේ නේවාසික සිසු සිසුවියන්ගේ කෙළිබිම බවට පත්වන බව නම් නොරහසකි. සමුද්‍ර ජල තලය ආසන්නයෙන් පියඹා යන මුහුදු ලිහිණින් ද, සමුද්‍ර ගීතයද රැගෙන හමා එන සුළඟ ද හැරුණු විට සතියක් පුරා අධ්‍යාපනයෙන් හෙම්බත් වුණු ඔවුන්ගේ සිත් සතන් සනසාලන්නට තව කවරක් නම් සමත් වේද?

විදුහල්බිම සුන්දරත්වය නැරඹීමෙන් අනතුරුව දිවා ආහාරය ගත් සිසුහු සිය පන්තිකාමර වෙත පැමිණියහ. උසස් කණිෂ්ඨ විද්‍යාලයේ පළමු වසර, එනම් සත් වන ශ්‍රේණියේ සිසුහු නිදහස් ඉගැනුම් ක්‍රමවේදයට පූර්ණව ළඟාවී නොසිටි හෙයින් ගණිතය, විද්‍යාව ආදී විෂයන් හැරුණුකොට ඉතිහාසය, භාෂාව, සාහිත්‍යය වැනි විෂයන් උගන්වන ලද්දේ පන්තිකාමර තුලදීමය. අවසන් වසර හෙවත් නව වන ශ්‍රේණියේ සිසු සිසුවියන් නම් මෙම 'ශිෂ්‍ය රුචිකත්ව' ක්‍රමවේදයේ උපරිම ඵල නෙළාගන්නෝ වූහ.

ඔවුන්ගේ පන්තිභාර ගුරුවරිය වූ ජැනට් මෙනෙවිය වයස අවුරුදු විසි පහක් පමණ වූ සිහින්, සුන්දර සිරුරකට හිමිකම් කී යුවතියක් වූවාය. දුඹුරු පැහැ කැරළිගැසුණු කොණ්ඩයකින් ද, නිල් පැහැ නෙත් දෙකකින් ද යුත් දිගැටි මුහුණක් තිබූ ඇයට කරුණාවන්ත, ලගන්නා සුළු කටහඬක් තිබුණි. ඇගේ විෂය සාහිත්‍යය වුවද සිසු සිසුවියන් පිළිගනිමින් ඈ එදින ඔවුනට තම රුචිකත්වය අනුව කාල සටහන සාදාගන්නා ආකාරයත්, පාසලේ පරිගණක ජාලයට එය එක් කරන ආකාරයත්, විෂයයන් තොරාගන්නා ආකාරය හා පාසලේ නීති රීති පිළිබඳවත් පුළුල්ව පහදා දුන්නාය.

සෑම මොහොතකදීම හසාරාගේ නවමු මිතුරිය වූ ෆියෝනා ඈ සමගම සිටි අතර ඇයට අමතරව පන්තියේ හුන් සිසු සිසුවියන් සියළු දෙනාම හඳුනාගැනීමට ද හසාරාට අවස්ථාව උදාවිය.

(නැවත හමුවෙමු....)

1 comment:

  1. ඉතිං යාළුවනේ.... ගොඩක් කාලෙකට පස්සේ තමයි බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න ලැබුණේ. කට්ටියම පොඩ්ඩක් සමාවෙන්න ඕනා. මේ දවස් වල ටිකක් විතර වැඩ වැඩියි.... ඒකයි.
    ඒ වගේම මං කැමතියි ඔයාලා හැමෝටම පුංචි ආරාධනාවක් කරන්න. ඒ තමයි මේ බ්ලොග් එක ගැන ඔයාලගේ අදහස්, උදහස්.... ඒවගේම යෝජනා, චෝදනා වගේ දේවල් ගැන පුංචි කමෙන්ට් එකක් දාලා යන්න කියලා....
    ගොඩක් ස්තූතියි ! හැමෝටම සුභ දවසක් ! !

    ReplyDelete