මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Friday, July 10, 2015

අළුත් මිතුරියක් - (v-කොටස)



ඈ යුහුසුළුව කුටියෙන් නික්මී ජිම් පසුපසින් යන්නාවූ නවක සිසුන් අතලොස්සට එකතු වූවාය.

"හැමදාම.... එකම රටාව...."

ඈ පසුපසින් හුන් ෆියෝනා තාලයකට පැවසුවාය.

හසාරා හා ෆියෝනා හැරුණු කොට තවත් සිසුන් තිදෙනෙකුගෙන්ද, සිසුවියන් දෙදෙනෙකුගෙන්ද නවක සිසු පිරිස සමන්විත විය. ඔවුහු නේවාසිකාගාරයෙන් නික්මී කෘත්‍රිම ආලෝක ප්‍රභව වලින් අඳුර පළවා හරිනු ලැබූ, දිගු සෙවණැලි වලින් රටා මැවුණු විදුහල් බිම ඔස්සේ ජිම් අනුව පා නගන්නට වූහ. හාත්පස වෙලාගෙන පැවති නිහඬතාවය බිඳ දමමින් තරඟයට මෙන් නැගුණු නිශාචර කෘමීන්ගේ හඬ ඔවුන්ගේ සවන්පෙති සිසාරා ඇදී ගියේය. අවසානයේ ඔවුහු විදුලි බුබුලු වලින් ආලෝකවත් කර තිබූ ගොඩනැගිල්ලක් වෙත පැමිණියහ. එය විදුහලේ ආපනශාලාව විය. 


ඔවුන් එහි පැමිණෙන විටත් නේවාසිකාගාරයේ හුන් වැඩිමහල් සිසුහු එහි තැනින් තැන වූ මේස අසල වාඩිවී ආහාර ගනිමින් සිටි අතර හසාරා ද සිය සඟයන් අනුව යමින් කවුන්ටරයේ හුන් සිෆ් වරයාගෙන් තම ආහාර බඳුන ලබා ගත්තාය.

ආහාර අනුභවය අවසානයේ නවක සිසුහු සියල්ලෝම සුපුරුදු පරිදි ජිම්ගේ මගපෙන්වීම ඔස්සේ නැවත නේවාසිකාගාරය වෙත ඇදුණි.

"දන්නවද ?  හෙට ඉඳන් තමුන්ලට මේ පාසලේ කාලසටහන ලැබේවි. ඊට පස්සේ, හැම දෙයක්ම තමුන්ලා වෙලාවට අනුව කරන්න ඕනා.... ඊට පස්සේ මම එන්නේ නෑ මේ වගේ තමුන්ලට මග පෙන්වන්න. ඊට පස්සේ මම එන්නේ තමුන්ලා කාල සටහනට අනුව වැඩ කරනවද කියලා බලන්න"

ෆියෝනා නළල රැළි කරගෙන හසාරා දෙස බැලුවාය.

"මම කියපු දේ තමුන්ලට පැහැදිළියි නේ.... වෙලාවට වැඩ. දන්නවද? වෙලාවට වැඩ කරන එක ගැන හොඳම උදාහරණය තමයි මම.... මම උදේ පහට නැගිටිනවා.... පහේ ඉඳන් හය වෙනකම් ව්‍යායාම් කරනවා...."

ජිම්ගේ දේශණය අවසන් වූයේ සිසුන් සියළු දෙනාම තම කාමර වලට ගොස් ද්වාර්යන් වසා ගැනීමෙන් අනතුරුවය.

පාසලට පැමිණ ගතවූ මුල්ම දිනය උද්යෝගිමත් එකක් ලෙස හසාරාට හැඟුණි. ෆියෝනාගේ මිතුදමත්, ජිම්ගේ ගෝරනාඩුවත් මුල්ම දිනයේ ඇය ලැබූ අත්දැකීම්ය. නින්දට යෑමට පෙර සිය පියාට යැවූ 'වීඩියෝ පණිවිඩයේ' මේ සියල්ල ගැනම සඳහන් කිරීමට ඈ අමතක නොකලාය.

සයනයේ සැතපුණු ඈ කවුළුවෙන් කුටිය තුලට පැමිණි සෙවණැළි සමූහය දෙස බලමින් සිතුවිලි සයුරෙහි නිමග්න වන්නට වූවාය. සැජිටේරියස් පාසලේ ප්‍රථම වාරය ඇරඹෙනුයේ හෙටිනි. ඒ පිළිබඳ මතකයට නැගෙත්ම ඇගේ සිරුර පුරා නැගී ගියේ කිසියම් උද්යෝගයකි. අවන්හලේ සිට නේවාසිකාගාරය දක්වා පැමිණීමේදී ජිම් විසින් පැවසූ පරිදි ඔවුහු හෙට උදෑසන හයට අවදි විය යුතුය. හත වන විට අවන්හලට පැමිණ ආහාර අනුභව කොට, අට වන විට ප්‍රධාන ශාලාවේ අසුන් ගත යුතුය. හෙටින් එළඹෙන ඒ අපූරු දිනය ඇගේ ජීවිතයේ නවමු පිටුවක් පෙරළනු ඇත. නොයෙකුත් උද්යෝගිමත් සිතුවිලි අතර සරමින් හුන් ඈ තවත් සුළු මොහොතකින් නිදි දෙව් දුවගේ පහසට නතු වූවාය.


(අළුත් කොටසකින් නැවත හමුවෙමු....)

2 comments:

  1. බ්ලොගර් ෆලෝවරය එකතු කරන්න

    ReplyDelete
    Replies
    1. හරි..., හුඟක් ස්තූතියි අටම්..... :-)

      Delete