මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Tuesday, September 29, 2015

අමතක නොවන රාත්‍රියක් - (iii-කොටස)

එය සැබෑවක් බව පසක් කරමින් කොරිඩෝව හරහා පැමිණෙන්නෙකුගේ පියවර හඬක් ඔවුනට ශ්‍රවණය විය. එහි රිද්මයෙන්ම පැමිණෙන්නේ කවරෙකුදැයි වටහා ගැනීමට අපහසු වූයේ නැත.

"ජිම් ! !"

දෙදෙනාගේම මුවින් එකවිට හඬ පිටවිය.

"ආ.... නෑ...."

හසාරාගේ අවධානය වහා ඉහලට යොමු විය. රාත්‍රී දහයෙන් පසුවත් ඈ තම කුටියේ විදුලි බුබුල දල්වා තිබුණාය !

ජිම් සෑම දිනකම රාත්‍රියේ මෙසේ ගමන් ගන්නා බව නේවාසික සිසුන්ට අළුත් දෙයක් නොවේ. නමුත් ඇතිවූ සිදුවීම් පෙළ හමුවේ හසාරාට මෙන්ම ක්‍රිස්ටියන්ට ද එය අමතකව ගොස් තිබුණි. විදුලි බුබුල දැල්වී ඇති බව දකින ජිම් කුටියට ඇතුළුවීම වැලැක්විය හැකි නොවේ. නමුත් මේ මහ රෑ ඇගේ කුටියේ පිරිමි ළමයෙකුද සිටිනු ඔහුගේ නෙත ගැටුණහොත් ඇතිවන්නේ ඊටත් වඩා බරපතල ප්‍රශ්ණයකි. පියවර හඬ කෙමෙන් කෙමෙන් ලංවනු ඇසේ. ජිම් කුටියට ඇතුළු වීමට ප්‍රථම වහා පිරිමි ළමයාව සැඟවිය යුතුය. නමුත් කොහිද? හසාරාගේ දෑස් වේගයෙන් කුටිය සිසාරා ඇදී ගියාය. 

සැඟවී සිටීමට ප්‍රමාණවත් අවකාශ කිහිපයක් නෙත ගැටුණද ඒ වෙත ලංවීමට තරම් කාලයක් ඉතිරිව නැත. අවසානයේ ඇගේ නෙතු ඉදිරියෙන් වූ අල්මාරිය වෙත යොමු විය. එහි එක් දොරක් ඇයට මුහුණලා තිබූ අතර අනෙක් පස දොරට පිටුපා පිරිමි ළමයා අසරණව සිටගෙන සිටියේය. ඇතිවීමට යන තත්වය වැටහුණාක් මෙන් ඔහුගේ මුහුණ බියෙන් සුදුමැළිව ගොස් තිබුණු අතර නළලට නැගුණු දහඩිය බිඳු විදුලි ආලෝකය වැදී දිළිසුම් දෙනු දැරියගේ නෙතු යුග්මයට හසු විය. පියවර හඬ දැන් වඩාත් ලංවී ඇසේ. එක විටම එය ඔවුන්ගේ කුටිය අසලින් නැවතුනි. ඉතිරිව ඇත්තේ තවත් සුළු මොහොතක් පමණි. දැරියගේ සිතුවිලි වේගයෙන් ක්‍රියාත්මක වන්නට විය.

"ආ.... හා...."

ජිම් කුටියට ඇතුළු වූයේත්, හසාරා තමා ඉදිරියේ වූ අල්මාරි දොර විවර කලේත් එකම මොහොතකදීය.

"සුවිමාලි ! තමුන් මොනවද මෙතන කරන්නේ....?"

"ආ.... මේ.... මේ...."

ඇය ජිම් දෙස නොබලාම අල්මාරිය තුල වූ යමක් සොයන බව හැඟවූවාය. මේ වන විට ඇගේ උපක්‍රමය තේරුම් ගෙන සිටි පිරිමි ළමයාද තමා පිටුපා සිටි අල්මාරි දොර වෙතට හේත්තු වී, නිෂ්ශබ්දව, නොසෙල්වී හුන්නේය.

"මේ.... මේක මගේ කාමරය නේ ජිම්"

පිළිතුරක් සූදානම් කර ගත් හසාරා එකවිටම ජිම් දෙස බලමින් පැවසුවාය.

"ආ.... ඔව්. ඒක හරි, නමුත් මම අහන්න හැදුවේ තමුන්......"

නමුත් එම වදන් දැරියගේ සවනට ඇදී ආවේ නැත. ජිම් සහ ඈ විවර කල අල්මාරි දොර එක පෙළට ඇති හෙයින් පිරිමි ළමයාගේ කඳ කොටස නොපෙනුනද, අල්මාරියේ ද්වාරයත් බිමත් අතර වූ පරතරය තුලින් ඔහුගේ දෙපා ජිම් හට දෘෂ්‍යමාන වීමේ අවදානමක් තිබූ බැවින් හසාරා කල්පනා කරමින් සිටියේ එය වසා දමන්නට හැකි ක්‍රමයක් පිළිබඳවය.

එකවිටම යමක් මතක් වූවාක් මෙන් බිමට නැඹුරු වූ ඈ අල්මාරිය පාමුල, එයට සම්බන්ධ කර තනා තිබූ ලාච්චුවද ක්ෂණිකවම විවර කළාය. එමගින් පිරිමි ළමයාගේ දෙපා පෙනීමේ අවදානම පහව ගියත් එය විවර කිරීමේදී නැගුණු හඬ ජිම්ගේ කෝපය තවත් ඉහළ දැමීමට සමත් විය.

"සුවිමාලි ! ! තමුන් මොනවා කරනවා කියලද හිතන්නේ....? දන්නේ නැද්ද මේ නේවාසිකාගාරයේ තව මිනිස්සු නිදාගෙන ඉන්න විත්තිය."

හේ විමසුවේ ලාච්චුව විවර වන විට නැගුණු හඬටත් වඩා උස් හඬිනි.

"සමාවෙන්න ජිම්...."

යළි නැගී සිටිමින් හසාරා පැවසුවේ පසුතැවිලි වන ස්වරයෙනි.

"තමුන් මොනවද මේ කරන්නේ විදුලි බුබුලු දල්වගෙන? මම පැහැදිළිව තමුන්ලට කියලා තියෙනවා රෑ දහයෙන් පස්සේ කාමර වල විදුලි බුබුලු දල්වන්න එපා කියලා...."

"ම්.... මට මේ.... මේ.... කැස්සක් හැදුනා ජිම්. එක පාරටම. මං හෙව්වේ මේ.... කැස්සට ගන්න බෙහෙත් පෙති ටික කොහේද කියලා...."

හසාරා වහා නිදහසට කාරණාවක් ගොතා ගැනීමට සමත් වූවාය. අනතුරුව ඈ ව්‍යාජ කැස්සක් මවා පාමින් නැවතත් යමක් සොයන බව අඟවමින් අල්මාරිය පීරන්නට වූවාය.

නමුත් එකවිටම ඇගේ අත වැදී එතුල වූ යමක් බිම වැටුණේ මහත් හඬක් නංවමිනි.

"සුවිමාලි ! තමුන්ගේ සද්දේ වහගන්නවා...."

ජිම් නැවත වරක් මොර දුන්නේය.

බිම වැටුනු සිලින්ඩරාකාර හැඩති බඳුන පෙරළෙමින් විත් ජිම්ගේ පයෙහි වැදී නතර විය. බිමට නැඹුරු වූ හේ එය සියතට ගෙන කියවා බැලීය. 

හසාරාගේ වාසනාවට එය කැස්සට ගන්නා බෙහෙත් පෙති අඩංගු බඳුනක් විය.

"ඒ.... ඒක හම්බවුණා ජිම්...."

ඔහුගේ බැල්ම තමා වෙතට යොමුවනු දුටු හසාරා පැවසුවේ වරදකට හසුවූවාක් මෙන් බිම බලාගනිමිනි.

"හරි එහෙනම්...."

එය නුදුරින් වූ මේසය මත තබමින් ජිම් පැවසීය.

"බෙහෙත් බීලා, විදුලි බුබුල නිවලා තමුන් එහෙනම් නින්දට යන්න ඕනා.... මම ඊළඟ පාර එනකොට මේ කාමරයේ විදුලි බුබුලු දැල්වෙන්න බෑ.... එහෙම වුණොත් මම හෙට තමුන්ට දෙනවා පැය දෙකක පාඩම් කාලසීමාවක්.... ඒ පැය දෙකේදී තමුන් පහළ පාඩම් කාමරයට වෙලා පාඩම් කරන්න ඕනෑ.... තනියම ! !"

හඬ නැගෙන ලෙස ද්වාරය වසා දමමින් හේ කුටියෙන් පිටවී ගියේය.

හසාරා නුදුරින් වූ සයනය මත හිඳගත්තේ සැනසුම් සුසුමක් හෙළමිනි. පිරිමි ළමයාද සිය නළලතේ නැගුණු දහඩිය බිඳු පිස දමමින් දිගු හුස්මක් ගත්තේය. අනතුරුව ඔහුද අල්මාරියට පිටදී බිම හිඳගත්තේය.

"ඔයාට ස්තූතියි කුමරිය...."

හේ පැවසුවේ සැනසුම් සුසුමක් හෙළමිනි.

"ඒක ඔයා වෙනුවෙන් විතරක් කරපු දෙයක් නෙවෙයි. ඔයත් මෙතන ඉන්නවා ජිම් දැක්කා නම් මටත් ලොකු ප්‍රශ්ණයකට මුහුණ දෙන්න වෙනවා…."

දැරිය පැවසුවේ දෝෂාරෝපණ මුඛයෙනි.

"මට සමාවෙන්න.... මට හිතෙන්නේ දැන් මම ගියානම් හොඳයි වගේ...."

පිරිමි ළමයා පැවසුවේ නැගී සිටිමිනි. හසාරාද ඔහුව අනුගමනය කළාය.

"ඒක නෙවෙයි, මේකට මොකද කරන්නේ...?"

එකවිටම  යමක් මතක් වූවාක් මෙන් හේ සියත රැඳි ක්ෂුද්‍ර සම්ප්‍රේෂකය හසාරා වෙත පෑවේය. ඊට පිළිතුරු ලෙස දැරිය දෙවුර හැකිළුවාය.

"මම එහෙනම් මේක අරන් ගිහින් පරීක්ෂා කරලා බලන්නම්"

කුටියේ දොර විවර කරමින් පිරිමි ළමයා පැවසීය. විදුලි පහන් දැල්වීමට ජිම් උනන්දු නොවූ බවට දෙස් දෙමින් කොරිඩෝව තවමත් අඳුරින් වැසී තිබුණි.

"කරදර කලාට ගොඩක් කණගාටුයි කුමරිය."

අන්ධකාරය හා මුසුව නොපෙනී යන්නට පෙර පිරිමි ළමයා සිය හඬ අවදි කළේය.

"සුභ රාත්‍රියක්...."

ඔහු හා ගතවූ හෝරා කිහිපය තුල පළමු වතාවට හසාරාගේ වතෙහි සිනහවක් ඇඳුණි.

"මම හිතන්නේ දැන් කියන්න ඕනේ 'සුභ උදෑසනක්' කියලයි."

ඈ පැවසුවාය.

"කොහොම වුණත්, දැන් අපි කරන්නේ නිදාගන්න එක හින්දා සුභ රාත්‍රියක් කිව්වට අවුලක් නෑ වගේ...."

හසාරාද පෙරලා ඔහුට සුභ පැතුවාය.

සුරත වනමින් අන්ධකාරය හා එක්වූ ඔහුගේ රුව නොපෙනී යන තුරු බලා සිටි ඈ ද්වාරය වසා දැමුවාය.

 ඇතිවූ සිද්ධි දාමය නිසා ඇගේ සිතද මහත් සේ කැළඹී ගොස් තිබුණි. ඖෂධ අඩංගු බඳුන අල්මාරියට දමා වසා දැමූ ඈ නින්දට යාම සඳහා සිය ඇඳුම් මාරු කළාය. සුභ රාත්‍රියක් සඳහා සුභපැතුම් එක් කලද වේලාව පෙරවරු දෙකත් පසුකර ගොසිනි. විදුලි බුබුල නිවා දැමා කැළඹුණු සිතින්ම සයනය මත සැතපුණද මොහොතකින් ඇගේ දෙනුවන් නිදිබරින් පියවී ගියේය.

(අළුත් කොටසකින් නැවත හමුවෙමු....)

2 comments:

  1. කෝ බන් ඉතුරු ටික??
    ලියපන් ඉක්මනට ම!

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස් ටිකේම වැඩ ගොඩකට හිරවෙලයි හිටියේ.... ඒකයි අළුතින් post එකක් වත් දාන්න බැරි වුනේ.... ඔන්න අළුත් කොටසක් ලිව්වා.... :-) කියවලා බලලා අදහසක් එහෙම දෙන්න.....
      හුඟක් ස්තූතියි රූපේ ! ආපහු ඇවිත් යන්න එන්න......

      Delete