මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Friday, September 4, 2015

අමතක නොවන රාත්‍රියක් - (i-කොටස)



සිත සතුටින් පවතින විට කාලය වේගයෙන් ගලා යන බැව් සපථ කරමින් තවත් දින කිහිපයක් සුපුරුදු පරිදි ගෙවී ගියේය. මේ කාලය තුලදී තම පන්තියේ මෙන්ම ඉහල ශ්‍රේණිවලද සිසු සිසුවියන් බොහෝ දෙනෙකු දැන හඳුනා ගැනීමට හසාරාට අවස්ථාව උදාවිය. සුහදශීලී මෙන්ම නිහතමානී දැරියක් වූ ඈ සියල්ලන්ගේම ගෞරවයද නිතැතින්ම හිමිකර ගත්තාය. නමුත් මෙහිදී ද ඈ අකමැතිම දෙය වූයේ සියල්ලන්ම තමාට 'කුමරිය' කියා ආමන්ත්‍රණය කිරීමය. ඇගේ පියා 'හැත්තෑ නව වෙනි ග්‍රහලොවේ' මනුෂ්‍යන්ගේ පාලකයා වූ හෙයින් එනමින් ඇයව ඇමතීම සාමාන්‍යය කාරණාවක් වුවද, සිය මව් ග්‍රහලොවේදී පවා මෙම වදනට අකමැති වූ ඈ සිතා සිටියේ පෘථිවියට පැමිණීමෙන් අනතුරුව සියල්ල වෙනස් වනු ඇතැයි කියාය. තමා අන් අයට වඩා උසස් යන හැඟීමක් ජනිත කරවන එම වදනට වඩා තම සැබෑ නමින්ම ආමන්ත්‍රණය කරනු දැකීම ඇගේ බලාපොරොත්තුව වුවද, මේ පාසලේ සිටින කාලය පුරාවටම කිසිඳු සිසුවෙක් හෝ සිසුවියක් තමාට එසේ ආමන්ත්‍රණය නොකරන බව නම් ඇයට මනාකොට වැටහීගොස් තිබුණි.


අනෙකුත් සිසු සිසුවියන් මෙන්ම හසාරාද මහත් උනන්දුවෙන් යුතුව සිය අධ්‍යාපන කටයුතු වල නිරත වූවාය. විදුහලෙහි වූ විසල් පුස්තකාලය ඇගේ ප්‍රියතම ස්ථානයක් වූ අතර බොහෝ නිදහස් කාලඡේදවලදී ඈ දැකගත හැකිවූයේ එහිදීය.

තාක්ෂණය විසින් තොරතුරු වෙත ළඟාවීමට වූ බාධාව බිඳහෙලන ලදුව පුස්තකාල වල අවශ්‍යතාව යල් පැනගිය එකක් ලෙස වැටහී ගියද, නිහඬව ග්‍රන්ථ රසය සොයා යන පාඨකයන්ගෙන් අඩුවක් නොවූ මේ යුගයේ පවා පුස්තකාල සංකල්පය අතීතය හා එක්වූවක් නොවේ. තෙවන ලෝක යුධ සමයටත් ශතවර්ෂ ගණනාවකට පෙර ලියන ලද ඓතිහාසික ග්‍රන්ථ වල විද්‍යුත් පිටපත් වල සිට වර්තමානයේ ලියවෙන විද්‍යුත් ග්‍රන්ථ දක්වා ඕනෑම විෂය ක්ෂේත්‍රයකට අදාල පොත් පත් වලින් ඒවා ස්වයංපෝෂිත වූ අතර එපමණකින් නොනැවතී ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් ඔස්සේ ගබඩා වූ ගීත, දේශණ, චිත්‍රපට මෙන්ම ගවේෂණ වාර්තා ආදියෙන්ද මෙම පුස්තකාල සමන්විත විය. ඒ ඒ පුස්තකාලය සඳහා වෙන්වූ, 'ප්‍රධාන පරිගණකය' හා සම්බන්ධ මධ්‍යම දත්ත ගබඩාවක් වූ අතර තොරතුරු රඳවා ගැනීමට අමතරව පාඨකයන්ගේ රුචි අරුචිකම් වටහා ගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන තොරතුරු ලබාදීම සඳහා නිර්මාණය කර ගන්නා 'පාඨක චරිත සටහන්' (profiles) ගබඩා කර තබා ගැනීමද එමගින් සිදුවිය. මෙවැනි බොහෝ පුස්තකාලවල ග්‍රන්ථයන් පැවතියේ පාඨකයාට සිය ජංගම දුරකථනය, එස්.ඩී.ඒ. උපාංගය හෝ 'ඊ-බුක්' (e-book) උපාංගය ඔස්සේ නැරඹිය හැකිවන ලෙස ඩිජිටල්  මාධ්‍යයෙන් වුවද, තවමත් ග්‍රන්ථ වල මුද්‍රිත පිටපත් පවතින පුස්තකාලද නොතිබුනාම නොවේ.

සෑම සති අන්තයකදීම කිසියම් පොතක් කියවා අවසාන කලයුතු යැයි හැඟීමක් හසාරාගේ සිතට ඇතුළුවූයේ පුස්තකාලය වෙත ගිය පළමු දිනයේදී මය. එබැවින් එළඹුණු සිකුරාදා දිනයේ පාසල නිමාවීමෙන් පසු ඈ නේවාසිකාගාරය වෙත පැමිණියේ පුස්තකාලයෙන් ලබාගත් පොත් ද්විත්වයක්ද රැගෙනයි. එසේ වුවද ඒවා කියවීම සඳහා ඇයට අවකාශ උදාවූයේ රාත්‍රී ආහාරයද ගෙන නැවත නේවාසිකාගාරයට පැමිණීමෙන් අනතුරුවයි. රාත්‍රී දහය වන විට කාමර වල විදුලි බුබුළු නිවා දැමිය යුතුවූ හෙයින් කුටියේ විදුලිය නිවා දැමූ ඈ ඇඳුම් මාරු කර ගැනීමට පවා ප්‍රමාද නොවී සයනය මත හිඳ පසකින් වූ මේස ලාම්පුවද දල්වාගෙන පොතක් වෙත සිය නෙත් යොමු කළාය.

එකවිටම නැගුණු කිසියම් ශබ්දයක් ඇයට බාධා නොකරන්නට, තමා කොපමණ වේලාවක් කියවීමේ නිරත වූවාදැයි හැඟීමක් ඈ වෙත නොවූවාය. මේස ලාම්පුවෙන් නිකුත්වූ මන්දාලෝකය කුටිය වටා වූ අන්ධකාර සේනාවෝ ඇය වෙත ළඟාවීම මැඩගෙන සිටින්නාක් වැනිය. හසාරාගේ අවධානය යුහුසුළුව සයනය අසල වූ ඔරලෝසුව වෙත යොමු විය. වේලාව මධ්‍යම රාත්‍රියද පසුවී ගොසිනි. එළඹී ඇත්තේ නිවාඩු දිනයක් බැවින් ප්‍රමාද වී අවදි වන්නට සිදුවීම ඇයට ගැටළුවක් නොවේ. එසේ වුවද කියවමින් සිටි පරිච්ඡේදය අවසන් කර නින්දට යා යුතුයි යන හැඟීමෙන් ඈ නැවත දෙනෙත් පොතෙහි පිටු අතර රැඳවූවා පමණි, වරක් ඇයට බාධා කළ හඬ නැවත වරක් ඇගේ දෙසවන් කරා ඇදී ආවේය. හසාරා වහා විමසිලිමත් වූවාය. කුටියේ ද්වාරය දෙසින් ශ්‍රවණය වූ ඉන් හැඟී ගියේ කිසිවෙක් දොරට පිටතින් ඒ අසල රැඳී සිටිනවාක් බඳු හැඟීමකි. තවත් මොහොතකින් කිසියම් කාල ප්‍රාන්තරයකට අනුව නැවතෙමින් හැඬවෙන සිහින් සංඥා නාදයක්ද ඇගේ දෙසවන් කරා ඇදී ආවේය. මේ රාත්‍රියේ තම කුටියේ දොරටුව අසලට වී සංඥා හඬවන්නේ කවුද? පොත වසා දමා සයනයෙන් නැගී සිටි ඈ කිසිඳු හඬක් නොනැගෙන ආකාරයට ද්වාරය වෙත ඇවිද ගියාය. සංඥා නාදය දැන් වඩා පැහැදිළිව ඇසේ. කිසිවෙක් හෝ කිසියම් දෙයක් හෝ දොරටුවට පිටතින් ඇති බව නම් දැන් ඇයට හොඳින්ම පැහැදිළිය. සිතට එඩි ගත් ඈ එකවිටම විදුළි බුබුලද දල්වමින් කුටියේ ද්වාරය විවර කළාය.

"ආ........."

කිසිවෙක් අපහසුවෙන් කෑගැසූ හඬින් හසාරා තිගැස්සී ගියාය. කවුරුන් හෝ කොරිඩෝවේ විදුළි බුබුළු නිවා දමා තිබූ හෙයින් කුටියෙන් පිටත අඳුරේ ගිලී තිබුණද ද්වාරය තුළින් ඇදී ආ ආලෝකයෙන් ඒ අසල සිටිනා පිරිමි ළමයෙකුගේ රුවක් ඇගේ දෑස් මත සිත්තම්ව ගියේ වැඩිවී තිබූ හද ගැස්ම ක්‍රමයෙන් යථා තත්වයට පත් කරමිනි. රන්වන් පැහැ කෙටි කොණ්ඩයකට උරුමකම් කී හේ විදුලි ආලෝකය දරා ගැනීමට අපහසුවෙන් මෙන් සුරතින් දෑස් ආවරණය කරගෙන සිටියේය. එසේ වුවද ඔහු ඇගේ පන්තියේම සිසුවෙකු බව හඳුනාගැනීමට හසාරාට අපහසු වූයේ නැත.

"ක්‍රිස්ටියන් ! ! .... ඔයා මොනවද මෙතන කරන්නේ....?"

ඇගේ කටහඬෙහි මද කෝපයක සළකුණු විය.

පිරිමි ළමයා මෙතෙක් වේලා දෑස් ආවරණය කර හුන් සුරත ඉවත් කළ අතර දෙනෙත් ආලෝකයට හුරු කර ගැනීමට මෙන් හේ වේගයෙන් ඇසිපිය සැළීය. අඩි පහකට වඩා මදක් උස් වූ ඔහු සතු වූයේ දුඹුරු පැහැ ඇස් දෙකකි. පැළඳ සිටි කාලවර්ණ රාමුවෙන් යුත් උපැස් යුවල නිසා කිසියම් බුද්ධිමත් පෙනුමක් ඔහු වෙතින් දිස් විය.

"ආ.... කුමරිය.... මම....මම.... මේ.... නිකම් යන ගමන්...."

දැරිය හඳුනාගත් හේ අපහසුවෙන් වදන් ගලපා ගත්තේය.

මේ අතර ඔහුගේ වමතේ රැඳුණු නිවි නිවී දැල්වෙන කුඩා රතු පැහැති ආලෝකයක් සහිත උපකරණයක් වෙත යුහුසුළුව හසාරාගේ අවධානය යොමු වූවාය. ජංගම දුරකථනයක හැඩහුරුකම් කී එහි බොත්තම් කිහිපයක්ද තිබෙනු ඇගේ දෑසට හසුවිය.

"යන ගමන් ද? නැත්නම් ඔත්තු බලන ගමන් ද?"

පිරිමි ළමයා බිමට යොමාගත් දෙනෙතින් යුතුව සිය හිස කැසීය.

"ඇත්තම කියනවා නම්.... මම.... මම... මේ.... පොඩි දෙයක් හොයන ගමන්...."

හේ හසාරා දෙසත්, සියත රැඳි උපකරණය දෙසත් මාරුවන් මාරුවට බලමින් පැවසීය.

" පොඩි දෙයක්....! ඒ මොකක්ද ? "

හසාරා විමතියෙන් යුතුව විමසා සිටියාය.

(නැවත හමුවෙමු....)

No comments:

Post a Comment