මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Friday, September 11, 2015

අමතක නොවන රාත්‍රියක් - (ii-කොටස)



"ඒක මේ.... එක්තරා ආකාරයක ට්‍රාන්ස්මිටර් එකක්. ඔයා දන්නවනේ.... සම්ප්‍රේෂක. අර.... ගුවන්විදුලි තරංග විසුරුවා හරින්න ගන්නේ...."

පිරිමි ළමයා උද්යෝගය මුසු වූ කලබලයෙන් කියාගෙන ගියේය. හසාරා එය දන්නා බව හැඟවීමට හිස සැලුවාය.

"ඔයා කියන්න හදන්නේ ඔයා හොයන්නේ ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂකයක් කියලා නම්, මට කියන්න වෙන්නේ ඔයාට හරියට බොරුවක් වත් ගොතා ගන්න තේරෙන්නේ නෑ කියලයි. මොකද ඒ වගේ දෙයක් හොයනවා නම් ඔයා යන්න ඕනේ කාමර ගානේ නෙවෙයි, නේවාසිකාගාරයෙන් එළියටයි. මම අහලා නැහැ කාමර ඇතුලේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් සම්ප්‍රේෂක ගැන."

ඔහු හා දෙඩවීම නිශ්ඵල යැයි වැටහී ගිය හෙයින් ද්වාරය වසා දැමීමට උත්සාහ කරමින් හසාරා පැවසුවාය.

"පො.... පොඩ්ඩක් ඉන්න කුමරිය...."

ද්වාරයට සුරත තබා ඇගේ උත්සාහය වලකමින් හේ පැවසීය.

"මේ උපකරණයට පුළුවන් ගුවන්විදුලි තරංග හොයාගෙන යන්න...."

පිරිමි ළමයා සියත වූ උපකරණය ගෙනහැර දැක්වීය.

"මේ නේවාසිකාගාරයේ කොහේ හරි ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂකයක් සවිකරලා තියෙනවා.... ඔව්, ඔයා කියපු කථාව හරි. කාමර වල ඒවා සවිකරලා තේරුමක් නැහැ තමයි. නමුත් මේ සම්ප්‍රේෂකය විශේෂිතයි. ඒකයි මම කලිනුත් කිව්වේ මේක එක්තරා ආකාරයක සම්ප්‍රේෂකයක් කියලා.... මට හිතෙන හැටියට ඒක 'ක්ෂුද්‍ර සම්ප්‍රේෂකයක්'. ඒකෙන් නිකුත් වෙනවා කිලෝහර්ට්ස් හාරසිය හැත්තෑ නවයක 'මධ්‍යම තරංගයක්'. මේ උපකරණයට පුළුවන් ඒක ලුහුබඳින්න."

හේ කියාගෙන යන්නට විය.

"ඔයාගේ කාමරය පරීක්ෂා කරන්න පොඩි අවස්ථාවක් දෙනවා නම්, මට පුළුවන් වේවි ඒක තියෙන තැන හොයාගන්න."

"මගේ කාමරේ පරීක්ෂා කරන්න ? ?"

නොපහන් වූ කලක මෙන් හසාරාගේ දෑස් කුඩා වී ගියේය.

"නෑ.... නෑ.... තරහා ගන්න දෙයක් නෑ කුමරිය. මම එහෙම කිව්වේ, ඔයාගේ කාමරය ළඟදී මගේ උපකරණය ප්‍රබල විදිහට සංඥා නිකුත් කරන්න පටන් ගත්ත නිසයි...."

දැරිය කෝප වන බවක් හැඟුණෙන් හේ වහා සියත වූ උපකරණය කොරිඩෝව දෙසටත් අනතුරුව අනෙකුත් නේවාසික කුටි දෙසටත් යොමු කළේය.

කොරිඩෝව හා අනෙකුත් නේවාසික කුටි දෙසට එය යොමු කරන විට එහි වූ නිවි නිවී දැල්වෙන ආලෝකයේ තීව්‍රතාව අඩු වූ නමුත් හසාරාගේ කුටිය වෙත යොමු කරන විට ආලෝකයේ තීව්‍රතාව වැඩි විය.

"මේ උපකරණයෙන් පෙන්නුම් කරන්නේ ගුවන්විදුලි තරංගයේ  ප්‍රබලතාව. ප්‍රබලතාව අඩු වෙනකොට ආලෝකයේ තීව්‍රතාව අඩු වෙනවා.... ප්‍රබලතාව වැඩි වෙද්දි ඒක වැඩි වෙනවා...."

"හරි, හරි. දැන් ඔයා කියන්නේ සම්ප්‍රේෂකය සවිකරලා තියෙන්නේ මගේ කාමරේ කියලද?"

ද්වාරය වසා දැමීම අත්හල හසාරා විමසා සිටියේ තරමක තැතිගැන්වුනු ස්වරයෙනි.

"කවුද දන්නේ....? හැබැයි ඔයාගේ කාමරය පරීක්ෂා කලොත් මට ඒ බව හරියටම කියන්න පුළුවන් වේවි"

මදක් වේලා කල්පනාභරිතව පසු වූ දැරිය අවසානයේ පිරිමි ළමයාට කුටියට ඇතුළු වීමට ඉඩ දෙමින් ද්වාරය සම්පූර්ණයෙන්ම විවර කළාය. 

ඒ රාත්‍රිය වුවත් හේ සැරසී සිටියේ ගමනකට ඔබින ආකාරයේ කමිසයකින් හා කලිසමකිනි. ඔහු ඇතුළුවීමෙන් අනතුරුව හසාරා දොරටුව වසා දැමුවාය.

"ඕක හොයාගන්න එකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?"

"මුකුත් නැහැ...."

හේ පැවසුවේ සැහැල්ලු ස්වරයෙනි.

"ම්.... සමහර විට මගේ සැකය නැමති පිපාසයට පිළිතුරු නැමති දිය බිඳු කිහිපයක් වෙන්න පුළුවන්...."

හසාරා දෙබැම ඔසවා නළල රැළි ගන්වා ගත්තාය. 'එතරම් ගැඹුරු අදහසක්....?'. නමුත් පිරිමි ළමයා සිටියේ ඇයට පිටුපා හෙයින් ඇගේ මුහුණෙහි වූ වෙනස ඔහුට දෘෂ්‍යමාන වූයේ නැත.

සියත රැඳි උපකරණය වෙතම අවධානය යොමුකර හුන් ඔහු එහි වූ බොත්තමක් ස්පර්ෂ කරන ලදුව ඉන් කිසියම් නාදයක් නිකුත් වන්නට විය. එය සමාන වූයේ හසාරා මීට පෙර සයනයේ සිටියදී ශ්‍රවණය කල නාදයටමය. අනතුරුව හේ එම උපකරණය තමා ඉදිරියෙන් එහා මෙහා චලනය කරමින් නාදයේ තීව්‍රතාවයේ වෙනස අනුව එය වැඩි වන දෙසට පියවර ඔසවන්නට වූවේය. ඉදිරියට පා නැගි ඔහු අවසානයේ පැමිණියේ හසාරාගේ ඇඳුම් අල්මාරිය අසලටයි.

"ඔයා කියන්න හදන්නේ සම්ප්‍රේෂකය තියෙන්නේ මගේ ඇඳුම් අල්මාරිය ඇතුලේ කියලද?"

පිරිමි ළමයාගේ හැසිරීම් රටාව වෙත විමසුම් නෙත් යොමා හුන් දැරියගේ මුවින් ඉබේම වදන් පිටවිය. නමුත් එයට පිළිතුරක් දීමට පවා පමා නොවූ හේ අල්මාරියේ, බිත්තියට මුවා වී තිබෙන දාරයක් ඔස්සේ සුරත ගෙන ගියේය. අවසානයේදී ඔහුගේ මුහුණේ මද සිනහවක් ඇඳුණි. සියත වූ හඬ නගන උපකරණය නිහඬ කල හේ දාරය ඇතුලත සඟවා තිබූ යමක් ජයග්‍රාහී ලෙස පිටතට ගත්තේය.

"හොයා ගත්තා....! !"

උද්දාමය පිරි මුවින් ඔහු පැවසුවේ ආපසු හැරී දැරියට පෙනෙන සේ එය ඉහලට ඔසවමිනි. අනතුරුව හේ එය ඈ වෙත පෑවේය.

හසාරාද පැමිණ එය සුරතට ගෙන පරීක්ෂා කළාය. සම්ප්‍රේෂකයක් ලෙසින් හැඳින්වුවද එය සෙන්ටිමීටර් තුනක පමණ විශ්කම්භයෙන් යුත් වෘත්තාකාර උපකරණයක් විය. එහි එක් පැත්තක් පැතලි වූ අතර අනෙක්පස අර්ධ ගෝලාකාර ස්වරූපයක් ඉසිලීය. තරමක බරකින්ද යුතු වූ එය සතු වූයේ ලෝහමය නිමාවකි.

"මේකද ඔයා ඔය  'ක්ෂුද්‍ර සම්ප්‍රේෂකයක්' කියලා කිව්වේ....?"

එය නැවත පිරිමි ළමයා අත තබමින් හසාරා විමසා සිටියාය.

'ඔව්' යැයි හැඟවීමට හේ හිස සෙළවීය.

"මේක ඔයාට අයිති දෙයක්ද?"

අනතුරුව හේ විමසා සිටියේය.

"නැහැ"

හසාරා පැවසුවේ හිස දෙපසට වනා දෙවුරද හකුළුවමිනි.

"මම දන්නේ නෑ ඕක මගේ කාමරේට කොහොම ආවද කියලා. සමහර විට.... කලින් අවුරුද්දක මේ කාමරයේ හිටිය කෙනෙකුට අයිති දෙයක්ද දන්නේ නැහැ"

"මම නම් එහෙම හිතන්නේ නැහැ...."

පිරිමි ළමයා පැවසුවේ සම්ප්‍රේෂකය දෙනෙත් වෙත ලං කර වඩා හොඳින් පරීක්ෂා කරමිනි.

"ඒ තරම් කාලයක් මේක මෙතන තිබුණා නම් දූවිලි බැඳිලා මේ දිළිසෙන ගතිය නැතිවෙලා යනවා.... මොකද මේ වගේ උපකරණ ක්‍රියාත්මක වෙනකොට උපදින ස්ථිති විද්‍යුතය දූවිල්ල ආකර්ෂණය කරන නිසා.... නමුත් මේකේ මතුපිට තාමත් හොඳට දිළිසෙනවා. ඒ කියන්නේ මේ උපකරණය ඔයගේ කාමරයට ඇවිත් තවම වැඩි දවසක් ගතවෙලා නෑ කියන එකයි"

හසාරා මොහොතක් කල්පනාභරිතව පසු වූවාය.

"මට තාමත් හිතාගන්න බැහැ ඔය වගේ උපකරණයක් කොහොමද මගේ කාමරේට ආවේ කියලා.... ඕකෙන් මොන වගේ දේවල් කරන්න පුළුවන් කියලද ඔයා කිව්වේ....?"

"මෙහෙමයි, මේකෙන් පුළුවන් කිසියම් සංඛ්‍යාතයකට අයත් ගුවන්විදුලි තරංගයක් විසුරුවා හරින්න. ඒ ඔස්සේ පුළුවන් තොරතුරු එක් තැනක ඉඳන් තවත් තැනකට සම්ප්‍රේෂණය කරන්න. ම්..... කෙටියෙන්ම කිව්වොත්, මේක ඇතුලේ මයික්‍රෆෝනයක්, තව..... උෂ්ණත්ව සංවේදකයක් වගේ උපකරණ සවිකරලා තියෙනවා නම් ඒවායින් ලැබෙන දත්ත ගුවන්විදුලි තරංග ඔස්සේ පිට කෙනෙකුට ලබාගන්න පුළුවන් ආකාරයට විකාශනය කරන්න මේ උපකරණයට පුළුවන්"

"ඒ කියන්නේ මේ කාමරය ඇතුලේ වෙන දේවල් පිට ඉන්න කෙනෙකුට දැනගන්න පුළුවන්"

"ඔව්"

පිරිමි ළමයා පැවසුවේ හිස සලමිනි.

"ඒ පැත්තෙන් ගත්තොත් මේක ඔත්තු බැලීමේ උපකරණයක් විදිහට හැඳින්වුවත් වරදක් නැහැ "

හසාරාගේ දෙනෙත විශ්මයෙන් පුළුල් විය.

"ඒ කියන්නේ කවුරුහරි මං ගැන ඔත්තු බලන්න හිතාගෙන ඕක මගේ කාමරයේ සවිකලා කියලද?"

තමන් එය නොදන්නා බව හැඟවීමට පිරිමි ළමයා දෙවුර හැකිලීය.

"ඒ ගැන හරියටම කියන්න මට මේ උපකරණය තවදුරටත් පරීක්ෂා කරන්න වේවි. නමුත්, ඒ වගේ අරමුණකට නෙවෙයි නම් ඇයි මේක ඔයගේ අල්මාරියේ දාරයකට අලවලා, හංගලා...."

"ෂ්........"

හසාරා වහා මුව හරස් කොට දබරැඟිල්ල තබා නිහඬ වන ලෙස ඇඟවූවාය.
"මට අඩි සද්දයක් ඇහුණා...."

ඈ පැවසුවේ පහත් හඬිනි.


(නැවත හමුවෙමු....)

No comments:

Post a Comment