මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Friday, December 25, 2015

වාදක චමිල - (i-කොටස)



විහඟ ගී රාවයද රැගෙන, කවුළු පියන් පත් අතරින් ඇදී ආ උදෑසන හිරු කිරණ මෙතෙක් වේලා නිදි සුවයෙන් පසුවූ හසාරා ගේ නිදි ගැට බිඳ හෙළීය. පෙරදින බොහෝ ප්‍රමාද වී නිදිගත් බැවින් තරමක නිදිබර ගතියකින් දෙනෙත් පියන් වැසී යන්නට තැත් කලද ඊට ඉඩ නොදෙමින්ම ඈ සයනය මත හිඳ ගත්තාය. නුදුරින් වූ ඔරලෝසුව පෙරවරු හත සනිටුහන් කර තිබෙනු ඇගේ නෙතු මත නාභිගත විය. තමා හැරුණුකොට අනෙකුත් නේවාසික සිසු සිසුවියන් දැනටමත් අවදි වී ඇතුවාට සැකයක් නැත. සයනයෙන් නැගී සිටි ඈ මුවකට දොවා ගැනීම පිණිස කුටියෙන් නික්මුණාය.

නැවත කුටියට පැමිණෙන විට එහි වූ පරිගණකය පණගැන්වී තිබෙනු ඇගේ දෑසට හසු විය. විදුහලේ පරිගණක ජාලය හරහා හෝ තම විද්‍යුත් තැපැල් ගිණුමට හෝ කිසියම් දැනුම්දීමක්, පණිවිඩයක් පැමිණි විට අදාල පුද්ගලයා ඒ අසල රැඳී සිටී නම් ස්වයංක්‍රීයවම පණගැන්වෙන ආකාරයට එම පරිගණක වින්‍යාස ගත කර තිබූ අතර එවැනි දැනුම්දීමක් තමාට පැමිණි ප්‍රථම අවස්ථාව එය වූ බැවින් හසාරා කුහුලින් යුතුව පරිගණක තිරය වෙත එබුණාය. කිසිවෙකු විසින් ඈ වෙත එවනු ලැබූ කුඩා පණිවිඩයක් එහි දර්ශණය වෙමින් පැවතුණි.