මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Friday, December 25, 2015

වාදක චමිල - (i-කොටස)



විහඟ ගී රාවයද රැගෙන, කවුළු පියන් පත් අතරින් ඇදී ආ උදෑසන හිරු කිරණ මෙතෙක් වේලා නිදි සුවයෙන් පසුවූ හසාරා ගේ නිදි ගැට බිඳ හෙළීය. පෙරදින බොහෝ ප්‍රමාද වී නිදිගත් බැවින් තරමක නිදිබර ගතියකින් දෙනෙත් පියන් වැසී යන්නට තැත් කලද ඊට ඉඩ නොදෙමින්ම ඈ සයනය මත හිඳ ගත්තාය. නුදුරින් වූ ඔරලෝසුව පෙරවරු හත සනිටුහන් කර තිබෙනු ඇගේ නෙතු මත නාභිගත විය. තමා හැරුණුකොට අනෙකුත් නේවාසික සිසු සිසුවියන් දැනටමත් අවදි වී ඇතුවාට සැකයක් නැත. සයනයෙන් නැගී සිටි ඈ මුවකට දොවා ගැනීම පිණිස කුටියෙන් නික්මුණාය.

නැවත කුටියට පැමිණෙන විට එහි වූ පරිගණකය පණගැන්වී තිබෙනු ඇගේ දෑසට හසු විය. විදුහලේ පරිගණක ජාලය හරහා හෝ තම විද්‍යුත් තැපැල් ගිණුමට හෝ කිසියම් දැනුම්දීමක්, පණිවිඩයක් පැමිණි විට අදාල පුද්ගලයා ඒ අසල රැඳී සිටී නම් ස්වයංක්‍රීයවම පණගැන්වෙන ආකාරයට එම පරිගණක වින්‍යාස ගත කර තිබූ අතර එවැනි දැනුම්දීමක් තමාට පැමිණි ප්‍රථම අවස්ථාව එය වූ බැවින් හසාරා කුහුලින් යුතුව පරිගණක තිරය වෙත එබුණාය. කිසිවෙකු විසින් ඈ වෙත එවනු ලැබූ කුඩා පණිවිඩයක් එහි දර්ශණය වෙමින් පැවතුණි.


ට්‍රාන්ස්මිටරය ගැන තොරතුරු ටිකක් හොයා ගත්තා.
පුළුවන් නම් එන්න. මම ඉන්නේ තුන්වෙනි තට්ටුවේ
අටවෙනි කාමරයේ.
                                                                        -ජෙරමි ක්‍රිස්ටියන්.

එකවිටම, කිසියම් උද්යෝගයක් සිය සිරුර පුරා විහිදී යනු හසාරාට හැඟී ගියාය. තවත් මොහොතක් කල්පනා භරිතව පසු වූ ඈ අවසානයේ ක්‍රිස්ටියන් හමුවීමට යාමට තීරණය කළාය.

සුදුසු ඇඳුමකින් සැරසී කුටියෙන් නික්මුණු හසාරාට තම මිතුරිය; ෆියෝනා ව ද ගමනට එක් කර ගැනීමේ අභිලාෂයක් තිබුණද ඈ වේලාසනින්ම අවදි වී සිය කුටියද යතුරු ලා පිටව ගොස් තිබුණාය. සිසුන්ගෙන් මුක්ත වූ කොරිඩෝව ඔස්සේ පා නැගි හසාරා තවත් මොහොතකින් 'කාමර අංක අට' ඉදිරියේ පෙනී සිටියාය. කුටියට ඇතුළු වීමට ප්‍රථම ඈ ද්වාරයට තට්ටු කළාය.

"එන්න ඇතුලට."

පිළිතුරු ලෙස ක්‍රිස්ටියන් ගේ හඬ ඇදී ආවේය. ද්වාරය විවර කරමින් දැරිය කුටිය තුලට පිවිසියාය.

"ආ.... මේ ඔයා නේ.... සුභ උදෑසනක් !"

කුටිය අන්තයේ වූ පරිගණකයක් අසල, දොරටුවට පිටුපා හිඳ සිටි ක්‍රිස්ටියන් තම හිස හරවා බලමින් සුභපැතුම් එක් කළේය.

"සුභ උදෑසනක් !"

හසාරා පිළිවදන් දුන්නේ කුටිය සිසාරා සිය දෑස් යොමු කරනා අතරමය.

එය තරමක් විශාල කුටියක් විය. දොරටුවට මුහුණලා තිබූ අන්තයෙහි වූ විසල් ජනේලයෙන් ඇදී ආ සෞම්‍ය හිරු කිරණ කුටිය පුරා විහිදී ගොස් එය මනා ලෙස ආලෝකමත් කර තිබුණි. ජනේලය පාමුල ලියන මේස දෙකක් එකට ලං කර සකසා ගත් දිගු මේසයක් වූ අතර ඊට නුදුරින් වූ කුඩා පරිගණක මේසය අසල ක්‍රිස්ටියන් හිඳ සිටියේය. කුටියේ දෙපස අන්තයන්හි ඇඳන් ද්විත්වයක් සහ ඇඳුම් අල්මාරි ද්විත්වයක් විය. ඉන් එක් ඇඳක ඉහලින් බිත්තියෙහි 'ඩිජිටල් ගිටාරයක්' රඳවා තිබුණු අතර අනෙක් ඇඳ අසල බිත්තියෙහි ලෝ ප්‍රකට විද්‍යාඥයන් කිහිප දෙනෙකුගේ උඩුකය රැගත් පෝස්ටර් කිහිපයක් අලවා තිබුණි. ගිටාරය රැඳි ඇඳ ඉහත්තාවේ වූ තවත් පරිගණක මේසයක් මත කොටස් වලට ගලවන ලද 'මෝග්' නමින් හඳුන්වනු ලබන සංගීත කටයුතු සඳහා යොදා ගන්නා සිෆ් කෙනෙකු වූ අතර ප්‍රධාන දේහයෙන් වෙන් කරන ලද පාලන පුවරුව ඇතුළු එහි අනෙකුත් උපාංග සියල්ල මේසය මත විසිරී ගොස් තිබුණි.

"මේ කාමරයේ දෙන්නෙක් ඉන්නවද?"

හසාරා ගේ මුවගට නිතැතින්ම වදන් එක් විය.

"ආ.... ඔව්. මම යි මගේ යාළුව යි"

ක්‍රිස්ටියන් පරිගණක තිරයෙන් දෙනෙත් ඉවතට නොගනිමින් ම පිළිවදන් දුන්නේය.

"මම හිතන්නේ ඔයාගේ යාළුවා තමයි සංගීතයට ආස කරන කෙනා...."

හසාරා පැවසුවේ 'ඩිජිටල් ගිටාරය' දෙස නැවත වරක් නෙත් හෙළමිනි.

'ඔව්' යැයි හැඟවීමට පිරිමි ළමයා  හිස සෙළවීය.

"කොහොමද ඔයා ඒක දන්නේ....?"

"නිකම්.... මට හිතුණා සංගීතය ඔයාගේ ක්ෂේත්‍රයට ගැලපෙන්නේ නැහැ කියලා...."

ක්‍රිස්ටියන්  තමා හිඳ සිටි කැරකෙන අසුන හරවා හසාරා දෙස බැලුවේය. ඔහුගේ වතෙහි සිහින් සිනහවක් ඇඳුණි.

"ඒ වුණත් මං ආසයි සාම්ප්‍රදායික සංගීතයට."

එකවිටම, යමක් මතක් වූවාක් මෙන් ඔහුගේ හඬ වෙනස්ව ගියේය.

"ඔයා හිටගෙන.... එන්න, වාඩි වෙන්න."

හේ ලියන මේසය අසල වූ අසුනක් දක්වමින් පැවසීය. හසාරා හිඳගත් පසු ඔහු සිය කථාව දිගටම කරගෙන යන්නට විය.

"නමුත්, චමිල කැමති 'රොක්' සංගීතයට."

'චමිල ! !' හසාරාගේ මතකය වහා අවදි විය. තම පන්තියේ සිටිනා කටකාර, දඟකාර චරිතයක් වූ ඔහුව ඇයට හොඳින් මතක තිබුණි. බොහෝ ළඟින් ආශ්‍රය කොට නොතිබුණද හේ ඇගේ සිත් ගත්තේය.

"චමිල ද ඔයත් එක්ක මේ කාමරය හවුලේ පාවිච්චි කරන්නේ....?"

ඈ උද්යෝගයෙන් යුතුව විමසා සිටියාය.

"ඔව්.... එයයි මමයි ප්‍රාථමික ඉස්කොලේ දී තමයි මුලින්ම මුණගැහුනේ.... ඒ කාලේ ඉඳන්ම අපි යාළුවෝ...."

ක්‍රිස්ටියන් තම දෙනෙත නැවත වරක් පරිගණකය වෙත යොමු කළේය.

"චමිල ඊයේ හවස ගියා 'සබ්සොනික්' සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් බලන්න. හැබැයි දැන් නම් එයාට එන්න වෙලාව හරි"

ඉතින් ක්‍රිස්ටියන්, ඔයාගේ සැකය නැමති පිපාසයට පිළිතුරු නැමති දිය බින්දු හම්බවුණාද?"

කථාව නිවැරදි මාතෘකාව වෙත ගෙනෙයන අටියෙන් හසාරා එදින පෙරවරුවේ ක්‍රිස්ටියන් පැවසූ වැකියම යලි ආවර්ජනය කළාය. පිරිමි ළමයාගේ මුවට නිතැතින්ම මද සිනහවක් එක් විය.

"ඒක චමිලගේ වාක්‍ය ඛණ්ඩයක්. ඕනෙම තරහ ගිය ගැහැණු ළමයෙක්ව සන්සුන් කරන්න ඒකට පුළුවන් කියලයි එයා කිව්වේ...."

හසාරා නළල රැළි ගන්වා ගත්තාය.

"ඒක නෙවෙයි, මට ජෙරමි කියලා කථා කරන්න. ඔයාට මං එවපු පණිවිඩේ ලැබුණද?"

'ඔව්' යැයි හැඟවීමට හසාරා හිස සැළුවාය.

"මම ඒත් හිතුවා ඔයා උදෙන්ම නැගිටලා එළියට යන්න ඇති කියලා.... ඒ වුණාට කොයි වෙලාවේ හරි ඔයා දකියි කියලා හිතාගෙනයි මම ඒ පණිවිඩේ එව්වේ...."

"ඉතින්.... මොනවද ඔයා ට්‍රාන්ස්මිටර් එක ගැන හොයාගත්ත තොරතුරු?"

හසාරා නොතිත් කුතුහලයෙන් යුතුව විමසා සිටියාය.

"ම්.... පිළිවෙලකට කිව්වොත් ඒකේ මූලාකෘතිය, කාර්යභාරය, ප්‍රයෝජන වගේ දේවල්...."

ජෙරමි පැවසුවේ හසාරා වෙත හැරෙමිනි. එක විටම ඇගේ දෑස් මත ඇඳුණේ ඔහුගේ මුහුණේ වූ විඩාබර පෙනුමයි.

"ඒක නෙවේ, ඔයා කීයටද නිදා ගත්තේ....?"

ඈ යුහුසුළුව විමසා සිටියාය.

"ඇත්තම කිව්වොත්, ට්‍රාන්ස්මිටරය ගැන හරි විස්තරයක් හොයා ගන්නකම් මට නින්ද ගියේ නැහැ කුමරිය...."

ප්‍රථම හමුවීමේ සිට මේ දක්වා ගෙවී ගිය සිදුවීම් අතරේ පළමු වතාවට ජෙරමි කෙරෙහි අනුකම්පාවක් හසාරාගේ සිත තුළ නැගී ආවේය.

"මං කියන්නද? ඔයා දැන් පොඩ්ඩක් නිදා ගන්න.... හවස් වෙලා මං එන්නම් ට්‍රාන්ස්මිටරය ගැන හොයාගත්ත තොරතුරු ටික අහගන්න...."

"එපා.... එපා.... කුමරිය."

ජෙරමි පැවසුවේ අසුනින් නැගී සිටීමට උත්සාහ කරන හසාරාව වළකමිනි.

"මං කොහොමත් උදේට කාලා ම තමයි දැන් නිදා ගන්නේ. කොහොමත්......."

"එහෙනම් කාලා එමු.... මමත් තවම උදේට කාලා නැහැ...." 

ඔහුගේ කථාවට බාධා කරමින් හසාරා පැවසුවාය.

"නැහැ කුමරිය, කොහොමත් මට චමිල එනකම් ඉන්න වෙනවා කන්න යන්න.... ඔයාට යන්න හදිස්සියක් නැත්නම්, එයා එනකම් අර ට්‍රාන්ස්මිටර් එක ගැන හොයාගත්ත තොරතුරු ටික මං කියන්නම්...."

එයට එකඟතාවය පළ කරමින් හසාරා හිස සැළුවාය.

ජෙරමි මේසය මත වූ එම උපකරණය හසාරා වෙත පෑවේය. ඔහු විසින් එහි බාහිර ලෝහමය ආවරණය ගලවා ඉවත්කොට තිබූ හෙයින් පරිපථ පුවරුවත්, එයට සවිකොට තිබූ කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ රාශියත් ඇයට දක්නට ලැබුණි. ඇගේ දර්ශණය වඩා පුළුල් කරනු වස් ඩිජිටල් තිරයකින් සමන්විත, අතේ ගෙන යා හැකි විශාලක උපකරණයක් ද ජෙරමි ඇය අත තැබුවේය. දැරිය එය පිරික්සන අතරේ හේ සිය හඬ අවදි කරන්නට විය. 

"මේ වගේ උපකරණ පොදුවේ හඳුන්වන්නේ...."

නමුත් ඔහුගේ වැකිය සම්පූර්ණ කිරීමට ඉඩක් නොතබා ම කිසිවෙකුගේ කෑ ගැසීමක් සමග කුටියේ ද්වාරය විවර විය.

            (නැවත හමුවෙමු....)

1 comment:

  1. ඉතිං යාළුවනේ..., මුලින්ම මං හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.... මොකද, හුඟ කාලෙකට පස්සේ තමයි blog එකට post එකක් දාන්නේ.... පහුගිය දවස් ටිකේ ඇත්තටම වැඩ ගොඩක හිරවෙලයි හිටියේ.... කෙටියෙන්ම කිව්වොත් internet යන්න වත් වෙලාවක් ආවේ නැති තරම්. අද තමයි ඔන්න වෙලාවක් ලැබුණේ.... කොහොම වුණත් ආයෙමත් සුපුරුදු විදිහට 'තරු මිතුරෝ' එක්ක දිගටම එකතු වෙන්න, යාළුවෝ හැමෝටම ආරාධනා කරනවා..... කලින් වගේ පරක්කු නොකර දිගටම අලුතින් කොටස් එකතු කරන්න පුළුවන් වේවි. ඒ වගේම පහුගිය දවස් ටිකේම blog එක ගැන හොයපු, අහපු, බලපු යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තූතියි !
    දිගටම 'තරු මිතුරෝ' එක්ක රැඳිලා ඉන්න.....
    ආ..... කියන්න අමතක වුනා.... නත්තල් සමරන යාළුවෝ හැමෝටම 'සුභම සුභ නත්තලක් වේවා !' කියලා ප්‍රාර්ථනා කරනවා.....
    සුභ දවසක් ! ! !

    ReplyDelete