මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Sunday, January 3, 2016

වාදක චමිල - (ii-කොටස)



"අවදි වෙයල්ලා කම්මැලි කොල්ලනේ......
සංගීතයට ඔබේ කර්ණ පටහ පටල දෙදරවන්නට ඉඩ දෙන්න" 
 
හඬ නගමින් කුටියට ඇතුළු වූයේ සම වයසේ පිරිමි ළමයෙකි. සංගීත කණ්ඩායම් වල ශිල්පීන් අඳින ආකාරයේ කමිසයකින් ද, එයටම ගැලපෙන ඩෙනිම් කලිසමකින් ද සැරසී සිටි ඔහුගේ දෙපා සපත්තු යුවලකින් වැසී තිබුණි. ඔහුගේ දිගු කාලවර්ණ කොණ්ඩය නළල් තලය ද වසාගෙන කන් පෙති අතරින් ඇදී ගොස් ගෙල පිටුපසින් උරහිස දක්වා වැඩී තිබුණි. කාලවර්ණ නෙත් දෙකත්, පිරුණු මුහුණත්, දිගු නාසය හා පටු තොල් සඟලත් ඔහුට එක්කර තිබුණේ ආකර්ෂණීය පෙනුමකි. උසට සරිලන මහතකින් යුතු හේ එක් උරහිසක ගිටාර් ආවරණයක් එල්ලාගෙන සිටියේය.

ඔහුගේ අනපේක්ෂිත පැමිණීම නිසා විමතියටත්, තිගැස්මටත් පත්ව සිටි ජෙරමි හා හසාරා කිසිවක් පැවසීමට නොහැකිව සිටියදී පිරිමි ළමයාගේ විමසිලිමත් දෑස් ක්ෂණිකව යොමු වූයේ හසාරා වෙතටයි. ඒ සමගම ඒවා දීප්තියෙන් බැබලුණි.

"අවසරයි මා කුමරියනි.... 'වාදක චමිල' ගේ කුටියට ඔබතුමියව ඉමහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා...."

ආරූඪ කරගත් රංග වින්‍යාසයකින් යුතුව හේ පැවසුවේ ඉදිරියට පැමිණ දෑත් විහිදා අඩ දණින් වැටෙමිනි. අනතුරුව කිසිවක් සිතා ගැනීමටද පෙරාතුව නැගී සිටි හේ උරහිස රැඳි ආවරණය විවෘත කොට එතුල වූ 'ඩිජිටල් ගිටාරයක්' පිටතට ගත්තේය.

"ඔබතුමිය වෙනුවෙන් මගේ අළුත්ම ගීතය වාදනය කිරීමට ඉඩ දෙන්න....."

හසාරා ට හෝ ජෙරමි ට යමක් කියන්නට ඉඩක් නොතබාම හේ ගිටාරයේ තත් හඬවන්නට විය.

"උදා හිරු කිරණයි ඔබ මගේ....
 දිවියේ නැවුම් ජීවය වගේ....
ඔබෙ සිනහවෙන් - ලොව පිරවේ...
ඔබෙ කතාවන් - හද ඉතිරේ....
ලා.... ලා.... ලා.... ලා...."

ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ හඬ මෙන්ම වාදනයද ඉහල ස්වර පරාසයක් දක්වා පැතිර යන්නට විය.

"ඇත්තම කිව්වොත්.... මම මේ සින්දුවේ දෙවෙනි පැදි පෙළ හැදුවේ නෑ.... ඒ වුණත් මට දැන් අපූරු වචන ටිකක් ගලාගෙන එනවා...."

වාදනය නොනවත්වාම හේ කියාගෙන ගියේය.

"තණ පත් අතරේ හිම කැට වගේ....
මල් පෙති අතරේ පිණි බිඳු වගේ....
ඔය සුමුදු අතින් අල්ලා....
ගෙන යන්නම් විශ්වය පුරා....
ලා.... ලා.... ලා.... ලා....
මගෙ කුමරියේ....
මා ඔබට සදාකල් ආ......"

"චමිල ! !"

වාදනය පරදවමින් ජෙරමි ගේ උස් හඬ ඇදී ආවේය. ඒ සමගින්ම වාදනය පමණක් නොව ගායනය ද ලොප් වී ගියේය.

"කුමරිය මෙහේ ආවේ ඔයාගේ සින්දු අහන්න නෙවෙයි. ඒ හින්දා කරුණාකරලා ඔය කන් කරච්චලය නතර කරගන්න"

අනතුරුව හේ පැවසුවේ පෙරට වඩා පහත් හඬිනි.

"අයියෝ.... ජෙරමි.... ඔයා නම් කවදාවත් සංගීතයේ රසය විඳින කෙනෙක් නෙවෙයි...."

චමිල පැවසුවේ ගිටාරය සිය සයනය මත තබමිනි. ඒ සමගම ඔහුගේ අවධානය යොමු වූයේ කොටස් ගලවන ලද සිෆ් වරයා වෙතයි.

"අනේ.... මගේ දුප්පත් අසරණ 'මෝග්'.... මට දැන් තේරෙනවා ඇයි ජෙරමි ඔයාව යථා තත්වයට ගන්නේ නැත්තේ කියලා...."

අනුකම්පා සහගත ස්වරයෙන් හේ පැවසීය.

"ඉතින් කුමරිය, ඔයා කියන්නකෝ බලන්න මගේ සින්දුව ගැන. මං හිතන්නේ ඔයාට තියෙනවා ජෙරමිට වඩා හොඳ රසඥතාවයක්"

අනතුරුව ඔහු පැවසුවේ දිගු මේසය අසල වූ අනෙක් පුටුව ගෙන හසාරා හා ජෙරමි ට මුහුණට මුහුණ ලා හිඳ ගනිමිනි.

"ම්.... ම්.... සමස්තයක් විදිහට ගත්තොත් ඔයගේ ගීතය ප්‍රශංසනීයයි 'වාදක චමිල'.... ඒත් මං හිතන්නේ අර 'පිණි බිඳු වගේ....' කියන තැන 'කෝඩ්' (chord) එක 'ඩී - මයිනර්' නෙවෙයි, 'ඩී - සෙවන්ත්' වෙන්න ඕනේ කියලයි."

හසාරා ආරූඪ කරගත් ගැඹුරු බවකින් යුතුව පැවසුවාය.

"මොනවා..! !"

චමිල ගේ දෑස් විසල් වී, නළල රැළි ගැන්වී ගියේය.

"ඇත්තටම එතන කෝඩ්ස් වල අවුලක් තියෙනවා කියලා මටත් දැනිලයි තිබුණේ.... ඒත් මට හිතාගන්න බැරිව තිබුණේ මොන කෝඩ් එකද වැරදි කියලා...."

ඔහු පැවසුවේ පහත් හඬිනි.

"ආ.... අනිත් එක...."

ඔහුගේ හඬ නැවත උස් විය.

"මගේ නම 'වාදක චමිල' නෙවෙයි කුමරිය. මම චමිල.... අර 'වාදක' කෑල්ල නමට අමතරව මම රිංගවපු කොටසක්...."

සියල්ලන්ගේම මුවට සිනහවක් එක් කරමින් හේ පැවසීය.

"ඒක නෙවෙයි කුමරිය, ඇයි ඔයා අද හදිස්සියෙන්ම මේ පැත්තේ ආවේ....?"

මද නිහැඬියාවකින් අනතුරුව චමිල නැවත සිය හඬ අවදි කළේය.

"එයා ආවේ මෙන්න මේක ගැන දැනගන්න...."

හසාරා වෙනුවට ජෙරමි පිලිවදන් දුන්නේ මේසය මත වූ ට්‍රාන්ස්මිටරය ගෙන චමිල වෙත පාමිනි.

"මේ මොකක්ද?"

හේ එය සුරතට ගෙන ඒ මේ අත හරවා බලමින් විමසීය. නමුත් කිසිවෙකුත් එයට පිළිතුරු දීමට ප්‍රථම ඔහු ම එය කුමක්දැයි හඳුනා ගත්තේය.

"මේ අර ඔයා පහුගිය දවස් ටිකේම හොය හොය හිටිය 'ක්ෂුද්‍ර ට්‍රාන්ස්මිටරය ද?"

'ඔව්' යැයි හැඟවීමට ජෙරමි හිස සෙළවීය.

"මම ඒක හොයාගත්තේ අද උදේ.... ඒ වුණාට ඒක තිබුණු තැන ඇහුවොත් ඔයා තවත් පුදුම වෙයි."

"ආ.... ඒ කොහේද?"

චමිලගේ විමතිය පිරි දෙනෙත ජෙරමි වෙත යොමුවිය. ජෙරමි සැකෙවින්, ට්‍රාන්ස්මිටරය සොයා ගත් ආකාරය ඔහු වෙත ගෙනහැර දැක්වීය. එහිදී සිදුවූ ජිම් ගේ හදිසි ආගමනයත්, ඒ මොහොතේ ඉන් ගැළවුණු ආකාරයත් පැවසීමට අමතක කලේ නැත.

"නියමයි....! ඔයාලා අපූරු වික්‍රමයක් නේ කරලා තියෙන්නේ...."

කථාව අවසානයේ චමිල පැවසුවේ උද්දාමයෙනි.

"ඔව්, ඔව්.... ජිම් ට අහුවුණා නම් බලන්න තිබුණා ඒක් ඊටත් වඩා අපූරු වික්‍රමයක් වෙන හැටි"

හසාරා පැවසුවේ මවාගත් නොමනාපයෙනි.

"ඉතින් ජෙරමි, දැන්වත් කියමුද බලන්න ඔයා මේක ගැන හොයාගත්ත තොරතුරු ටික...."

අනතුරුව සුපුරුදු මාතෘකාව වෙත එළඹෙමින් ඈ විමසා සිටියාය.

"ම්.... අපි උදේට කාලා ම ඇවිත් ඒ ගැන කථා කරමුද?"

"ආ.... ඒක හොඳයි...."

ජෙරමිගේ යෝජනාව චමිල වහා අනුමත කළේය.

"උදේට කාලා ආවට මොකද මටත් දැන් නම් ටිකක් ටිකක් විතර බඩගිනියි වගේ...."

හේ පැවසුවේ අසුනින් නැගී සිටිමිනි.

"ඔයාගේ බඩට නම් ඉතින් කවදද විවේකයක් තිබුණේ...."

ජෙරමි පැවසුවේ ඔහුව අනුගමනය කරමිනි.

"එහෙම කියන්න එපා ජෙරමි.... කෑමෙන් තමයි බඩට අවශ්‍යය ව්‍යායාම ලැබෙන්නේ...."

කුටියෙන් නික්මුණු ඔවුන්ගේ පියවර හඬ පාළු කොරිඩෝවේ බිත්ති වල වැදී දෝංකාර දෙමින් ක්‍රමයෙන් වියැකී යන්නට විය.

(අළුත් කොටසකින් නැවත හමුවෙමු....) 

1 comment:

  1. ~~~~~ ලැබුවා වූ 2016 අළුත් අවුරුද්ද ඔබ සියළු දෙනාගේ ම යහපත් බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා ! ~~~~~

    ReplyDelete