මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Thursday, June 23, 2016

ක්ෂුද්‍ර ට්‍රාන්ස්මිටරය


"මේ වගේ උපාංග පොදුවේ හඳුන්වන්නේ 'ටී.පී.ඒ.එස්. ට්‍රාන්ස්මිටර්ස්', 
ඒ කියන්නේ 'තාප බලගැන්වුම් ප්‍රතිසම සංඥා සම්ප්‍රේෂක' 
( Thermal Powered Analog Signal Transmitter) කියලයි"

උදෑසන ආහාරයෙන් අනතුරුව නැවත කුටියට එක්වී සිටි මිතුරන් අමතමින් ජෙරමි පැවසීය. සුපුරුදු ලෙස හේ පරිගණකය ඉදිරිපස හිඳ සිටි අතර ඔහුගේ දෙපසින් හසාරා සහ චමිල අසුන් ගෙන සිටියහ.

 "මේක ඔත්තු බැලීමේ උපකරණයක්.... නමුත්, බය වෙන්න දෙයක් නැහැ. 
දැනට මම මේ උපකරණය ක්‍රියා විරහිත කරලයි තියෙන්නේ...."

ඔහු දිගටම කථාව කරගෙන යන්නට විය.


"මේ වගේ උපකරණ වර්තමානයේ නිපදවන්නේ නැහැ. 
ප්‍රධාන පරිගණකයේ තොරතුරු වල හැටියට අවසාන ට්‍රාන්ස්මිටර්ස් තොගය 
හදලා තියෙන්නේ තුන්වන ලෝක යුද්ධයේ මධ්‍ය කාලයේ.... 
වත්මන් ලෝකයේ තාක්ෂණය නැනෝ පරිමාණයෙනුත් එහාට ගියාට පස්සේ, 
මයික්‍රෝ පරිමාණයේ උපාංග අඩංගු වෙන මේ වගේ උපකරණ 
නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ"

"ඒ කියන්නේ මේක අවුරුදු අටසීයක් විතර පරණ භාණ්ඩයක්"

චමිල පැවසුවේ මේසය මත වූ ට්‍රාන්ස්මිටරය සියතට ගනිමිනි.

"ඔව්. කෞතුක වටිනාකම හැරුණහම මම හොයාගත්ත අනික් දේ තමයි 
මේ උපකරණය ඒකේ මූලාකෘතියෙන් බැහැරව තවදුරටත් වැඩි දියුණු කරපු 
එකක් කියන එක"

"මොකක්...?"

හසරා ත් චමිල ත් එක විටම විමසා සිටියහ.

"ඔයාට ඒක තේරෙන භාෂාවකින් කියන්න පුළුවන්ද?"

"ඒ කියන්නේ මේකයි...."

ජෙරමි පැවසුවේ සිය උපැස් යුවල නිවැරදිව සකස් කර ගනිමිනි.

"මම කලිනුත් කිව්වා වගේ ප්‍රධාන වශයෙන්ම මේ උපකරණ පාවිච්චි කරලා 
තියෙන්නේ ඔත්තු බැලීම් වගේ කටයුතු වලට. මේ තියෙන්නේ 
නියම ට්‍රාන්ස්මිටර් එකක විශාලනය කරපු රූපයක්"

අනතුරුව හේ පරිගණක තිරය මත රූපයක් දර්ශනය කරවීය.

"මේ උපකරණයේ ප්‍රධාන වශයෙන් මූලික කොටස් පහක් තියෙනවා.... 
ආදායකයක් (මයික් එකක්), ප්‍රතිබිම්බ (රූප) සැකසුම් ඒකකයක්, 
ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂකයක්, තාප බල ගැන්වුම් පද්ධතියක් සහ 
මයික්‍රෝ පරිමාණයේ මධ්‍ය සැකසුම් ඒකකයක් (මයික්‍රෝ ප්‍රොසෙසරයක්)"

තිරය මත වූ රූපයේ එක් එක් කොටස වෙත සිය දබරැඟිල්ල යොමු කරමින් ජෙරමි විස්තර කරන්නට විය.

"ආදායකය මගින් හඬ ලබා ගන්නත්, ප්‍රතිබිම්බ සැකසුම් ඒකකයෙන් 
නිකුත් කරන සෝනාර් තරංගයක් මගින් වස්තූන් පවතින දුර අනුව 
ඒවායේ දල රූපයක් නිර්මාණය කිරීමත්, සම්ප්‍රේෂකය මගින් ඒ තොරතුරු 
විසුරුවා හැරීමත් සිදු කරනවා.... ඒ සඳහා අවශ්‍ය බලය බලගැන්වුම් 
පද්ධතිය මගින් ලබා දෙනවා.... ඒ සියළුම ක්‍රියාවලීන් මධ්‍ය සැකසුම් ඒකකය
මගින් පාලනය කරනවා"

හේ කියාගෙන ගියේය.

"නමුත් ඔයාලට පේනවා ඇති අපට හමුවුණ මේ ට්‍රාන්ස්මිටර් එක 
නියම ට්‍රාන්ස්මිටර් එකකට වඩා වැඩිපුර උපකරණ සවි කරලා 
දියුණු කරපු එකක් බව"

ඔහු පැවසුවේ සත්‍යයකි. ඔවුන් සතු වූ ට්‍රාන්ස්මිටරයේ, තිරයේ දිස් වූ ට්‍රාන්ස්මිටරයේ වූ උපකරණ වලට අමතරව තවත් උපාංග කිහිපයක් සවිකර ඇති බැව් බැලූ බැල්මටම හඳුනා ගත හැකි විය. හසාරා හා චමිල විශාලක උපකරණය මගින් එය වඩාත් සෝදිසි කරන අතරතුර ජෙරමි සිය කථාව ඉදිරියට කරගෙන යන්නට විය.

"අපිට හමුවුණු ට්‍රාන්ස්මිටරයේ තාප බල ගැන්වුම් පද්ධති දෙකකුත්, 
සාමාන්‍යය ට්‍රාන්ස්මිටර් එකකට වඩා වැඩි අභ්‍යන්තර විභව කෝෂ 
ප්‍රමාණයකුත් තියෙනවා.... ඒ වගේම ප්‍රභව නිෂ්පාදනයට වඩා, බලවත් 
සම්ප්‍රේෂකයක්.... ඊළඟට නියම ට්‍රාන්ස්මිටරයක තියෙන්න ඕන ප්‍රතිබිම්බ 
සැකසුම් ඒකකය ඉවත් කරලා ඒ වෙනුවට වෙනත් උපාංග දෙකක් සවි කරලා 
තියෙනවා.... ඒවා මොනවද? කොයි වගේ කාර්යයන්ද ඒවට කරන්න පුළුවන් 
කියලා නම් මමත් හරියටම දන්නේ නැහැ. නමුත් නියම උපාංගය වෙනස් කරලා 
මේ වගේ එකක් හදපු කෙනා නම් ඉලෙක්ට්‍රොනික් විතරක් නෙවෙයි, 
ක්‍රමලේඛනය ගැනත් හොඳ දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනි."

"මට ප්‍රශ්ණයක් තියෙනවා...."

හසාරා සියල්ලන්ගේ ම අවධානය තමා වෙත නතු කර ගනිමින් සිය හඬ අවදි කළාය.

"ඔය තරම් සංකීර්ණ උපකරණයක් ඇයි කවුරු හරි මගේ කාමරයේ සවි කලේ...?"

"ඒක මටත් තියෙන ප්‍රශ්ණයක්...."

ජෙරමි ද සිය හඬ අවදි කළේය.

එයට ලබා දිය හැකි පිළිතුරක් නොවූ තැන තිදෙනා අතරම පැතිර ගියේ දැඩි නිහඬතාවයකි.

"මෙහෙම හිතමුකෝ.... ඔයා හැත්තෑ නව වෙනි ග්‍රහලෝකයේ කුමාරිකාව. 
හැමෝම දන්න, ප්‍රසිද්ධ කෙනෙක් නේ.... ඔයාගේ විස්තර දැන ගන්න 
බලාපොරොත්තුවෙන් කවුරු හරි ඕපාදූප කාරයෙක් මේ උපකරණය 
ඔයාගේ කාමරයේ සවි කලා වෙන්න පුළුවන්...."

අවසානයේ චමිල නිහඬතාවයට විරාමයක් තැබීය.

හසාරා සිය නළල රැළි ගන්වා ගත්තාය.

"හරි, නමුත් ඇයි ඒකට මේ වගේ සංකීර්ණ උපකරණයක්...? 
අනිත් එක, හැමෝම දන්නවා කෙනෙකුගේ පෞද්ගලික විස්තර හොරෙන් 
ලබා ගැනීම නීති විරෝධී දෙයක් කියලා...."

ජෙරමි ද සිය මතය ගෙනහැර පෑවේය.

"අපි මේ ගැන විදුහල්පතිතුමාට කිව්වොත් හොඳ නැද්ද?"

හසාරා විමසා සිටියේ පහත් හඬිනි. ඇගේ ස්වරයේ මෙන්ම මුහුණේ ද බියක සේයා සටහන්ව තිබෙනු පිරිමි ළමුන් දෙදෙනාගේ නෙතු ගැටුණි. ඒ සමගම ඔවුන් දෙදෙනාගේ මුහුණු ද නිතැතින්ම එකිනෙකා වෙත යොමු විය.

"ඒක හොඳ අදහසක් තමයි, නමුත් පාසල ඇතුලේ ඔත්තුකාරයෙක් ඉන්නවා 
කියලා විදුහල්පතිතුමා එක පාරටම පිළිගනීවිද? අපි ළඟ තියෙන්නේ 
නිකන්ම නිකන් උපකරණයක් විතරයි. අඩුම තරමේ මේ උපකරණය 
සවි කලේ කවුද?, මේකෙන් විකාශනය වෙන තොරතුරු ලබා ගන්නේ කවුද? 
කියලා හෝඩුවාවක් වත් අපිට නැහැ...."

හසාරා දෙස බලමින් ජෙරමි සිය හඬ අවදි කළේය.

"හදිස්සියේ වත් විදුහල්පතිතුමා මේ උපකරණය ඉල්ලගත්තොත් 
එතනින් එහාට කිසිම විස්තරයක් හොයාගන්න ක්‍රමයක් අපිට නැති වෙනවා...."

පිළිතුරක් බලාපොරොත්තුවෙන් හසාරාගේ දෙනත චමිල වෙත යොමු විය.

"ම්.... ඔයාට පුංචි හරි සැකයක් තියෙනවද මේ වගේ වැඩක් කරයි 
කියලා හිතෙන කවුරු හරි කෙනෙක් ගැන...?"

'නැත' යි හැඟවීමට ඈ හිස සැළුවාය.

තිදෙනා අතරම නැවත වරක් දැඩි නිහඬතාවයක් පැතිර ගියේය. චමිල සිය නළල මත වමත රඳවා මොහොතක් වේලා කල්පනා බරව පසුවිය.

"ම්.... හරි, මෙහෙම හිතමුකෝ...."

අවසානයේ හේ සිය හඬ අවදි කළේය.

"මේ උපකරණය තිබුණේ ඔයාගේ කාමරේ ඇතුලේ සවි කරලා නේ.... 
ඔයා ඇරුණහම, කවුද ඔයාගේ කාමරේට නිතරම එන යන කට්ටිය?"

"ම්...."

හසාරා මොහොතක් වේලා කල්පනාවේ නිමග්න වූවාය.

"දන්න තරමින් නම් මගේ යාළුවා; ෆියෝනා විතරයි. නමුත්.... එයා 
මේ වගේ දෙයක් කලා කියලා මට නම් විශ්වාස කරන්න අමාරුයි"

"ජිම් ගැන මොකද කියන්නේ...?"

චමිල වහා විමසා සිටියේය.

"එයාටත් පුළුවන් ඕනෙම වෙලාවක ළමයින්ගේ කාමර වලට යන්න. 
මං හිතන්නේ එයා ළඟ මේ හැම දොරකම අමතර යතුරක් තියෙනවා...."

"මං හිතන්නේ නැහැ ජිම් වත්, ෆියෝනා වත් මේකට සම්බන්ධ ඇතියි කියලා...."

සියල්ල අසා සිටි ජෙරමි අවසානයේ සිය මුව විවර කළේය.

"එයාලා කාමරයට යන එන බව ඇත්ත. නමුත් කොහොමද ඒ අය 
මේ වගේ ට්‍රාන්ස්මිටර් එකක් හොයා ගන්නේ...?"

"හැබැයි, ෆියෝනා ට කොහොම වෙතත් ජිම් ට නම් මේ වගේ උපකරණයක් 
හොයා ගන්න බැරි කමකුත් නැහැ...."

චමිල තරමක් කල්පනා බරව පැවසීය.

"මං දන්න විදිහට පැරණි භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කඩ වීදියක් 
'ලෝන් - බීච්' වල තියෙනවා...."

" 'ලෝන් - බීච්' ?" 

හසාරා ප්‍රශ්ණාර්ථ ස්වරයෙන් එයම ප්‍රතිරාවය කළාය.

" ඔව්, මෙහාට ලඟම නගරය ඒක"

චමිල පිළිවදන් දුන්නේය.

"කොහොම වුණත් ඔයා වෙනදට වඩා සැලකිල්ලෙන් ඉන්න කුමරිය. 
මොකද මේ උපකරණය අක්‍රීයයි කියලා දැනටමත් සවි කරපු කෙනා 
දන්නවා ඇති. අවධානයෙන් හිටියොත්, අපිට මේ ඔත්තුකාරයාව 
අල්ලගන්න බැරි වෙන එකක් නැහැ"

කථාව නැවතත් සුපුරුදු මාතෘකාව වෙත ගෙන එමින් ජෙරමි පැවසීය.

එය පිළිගනිමින් හසාරා හිස සැළුවාය.

"ඔව්... මේක සවි කරපු කෙනා කවුරු වුණත් එයා මේ පාසලේම කෙනෙක් 
වෙන්න ඕනි නේ...."

චමිල ද ඌන පූර්ණයක් එක් කළේය.

"මං දැන් ගියොත් හොඳයි වගේ...."

අනතුරුව හසාරා පැවසුවේ සිය අසුනින් නැගී සිටිමිනි.

"ඒ විස්තර ටික අහලා මගේ ඔළුව අවුල් වෙලා ගියාද මන්දා...."

තිදෙනා අතර දැඩි නිහැඬියාවක් පැතිර යන්නට විය. 

අවසානයේ චමිල සිය අසුනින් නැගී සිටියේය.

"ඔයා බය වෙන්න එපා කුමරිය. අපි ඉන්නවා ඔයා එක්ක. 
අපි ඉක්මනටම හොයාගනිමු කවුද මේ ඔත්තුකාරයා කියලා...."

ඇයව අස්වසිමින් හේ පැවසීය.

"එහෙම නේද ජෙරමි?"

"ඔව්.... ට්‍රාන්ස්මිටරය මා ළඟ තියෙන තාක් කල් කාටවත් බැහැ ඔයා ගැන 
ඔත්තු බලන්න. ඒ අතරතුරේදී මම බලන්නම් තව මොනවද මේ උපකරණය 
ගැන හොයාගන්න පුළුවන් කියලා.... වැදගත් දෙයක් දැනගත්තොත් 
මං ඔයාටත් කියන්නම්" 

ජෙරමි පැවසුවේ සිය කැරකෙන පුටුවෙන් හසාරා දෙසට හැරෙමිනි.

හසාරාගේ වතෙහි කිසියම් අස්වැසිල්ලක් සනිටුහන් විය.

"සමහරවිට, මේ ට්‍රාන්ස්මිටරය තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ කාටද 
කියලත් ජෙරමිට හොයාගන්න පුළුවන් වේවි...."

චමිල පැවසීය.

හසාරා මද සිනහවක් පෑවාය.

"ඔයාලට ගොඩක් ස්තූතියි...! මං යන්නම් දැන්"

ඔවුන්ගෙන් සමුගත් ඈ ද්වාරය වසා දමමින් කුටියෙන් නික්ම ගියාය.

"අපි කුමරියව බය කලා වත් ද?"

මිතුරා දෙස බලමින් චමිල විමසා සිටියේ නැවතත් සුපුරුදු පරිදි සිය අසුනේ හිඳ ගනිමිනි.

තමා එය නොදන්නා බව හැඟවීමට මෙන් ජෙරමි සිය උරහිස් හැකිළීය. අනතුරුව හේ නිහඬවම උපකරණය වෙත දෑස් යොමු කළේය.

"මට ජිම් ගැන සැකයි...."

විශාලක උපකරණය හා තවත් උපාංගයක් ගෙන ට්‍රාන්ස්මිටරය පරීක්ෂා කරන සිය මිතුරාගේ ක්‍රියා කලාපය දෙස මොහොතක් වේලා නෙතු යොමා සිටි චමිල නැවත සිය හඬ අවදි කළේය.

"අපි එයා ගැන ටිකක් අවධානයෙන් හිටියොත් නරකද?"

"ම්.... ඒ අදහසට වඩා ඔයාගේ කලින් අදහස නම් හොඳයි වගේ...."

ජෙරමි පැවසුවේ සිය කාර්යයෙන් මොහොතකට වත් දෙනෙත් පිටතට නොයවමිනි.

" 'කලින් අදහස ! !' ඒ මොකක්ද?"

"ඇයි? ඔයා කිව්වේ ට්‍රාන්ස්මිටරය තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ කාටද 
කියලා හොයාගන්න පුළුවන් වේවි කියලා...."

ජෙරමි සිය මුහුණ මිතුරා වෙත හැරවීය.

"ආ.... හා.... ඇත්ත නේන්නම්.... "

           චමිල පැවසුවේ උද්යෝගය පිරුණු හඬිනි.

           "මොකද කියන්නේ ජෙරමි...,? අපි දැන්මම ඒ වැඩේට බහිමු ද?"


 "නෑ.... නෑ.... දැන්ම නෙවෙයි. මම ඇහැරුණාට පස්සේ...."

ජෙරමි පැවසුවේ පරිගණකය අසලින් නැගී සිටිමිනි.

"මොකක්?"

චමිල වික්ෂිප්තව විමසා සිටියේය.

"ඔව්..., මොකද ඔයා කිව්වා ජෙරමිට තමයි ඒක හොයාගන්න 
පුළුවන් වෙන්නේ කියලා.... ඒ හින්දා මං නිදාගෙන ඉඳලා ඇහැරෙනකම් 
ඔයාට ඉන්න වෙනවා...."

තම සයනය වෙතට ඇවිද යමින් ජෙරමි පිළිතුරු සැපයීය.

"ආ.... අනික් එක"

සයනය මත සැතපී දෑස් පියා ගැනීමට ප්‍රථම ඔහු නැවත වරක් සිය මිතුරා ඇමතීය.

"මං ඇහැරෙන්න පරක්කු වුණොත් මගේ දවල් කෑම එකත් කනවා 
එහෙම නෙවෙයි.... මං කොයි වෙලාවේ හරි නැගිටලා ඒක කන්න යනවා...."

අනතුරුව හේ සයනයේ අනෙක් පසට හැරී දෑස් පියා ගත්තේය.



(අළුත් කොටසකින් නැවත හමුවෙමු....)

No comments:

Post a Comment