මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Friday, July 8, 2016

ෆියෝනාගේ හෙලිදරව්ව - (i-කොටස)



     ට්‍රාන්ස්මිටරය පිළිබඳ දැනගත් කරණු නිසා හසාරාගේ සිත දැඩි ලෙස කැළඹී 
ගොස් තිබුණි. එයින් හැඟී යන්නේ පාසල තුල ඔත්තුකරුවෙක් සිටින බවද?... 
කිසිවෙකු තමා පිළිබඳ ඔත්තු බැලීමේ වැදගත්කම කුමක්ද යන්න ඇයට ඇතිවූ 
ගැටළුවකි. ඈ හැත්තෑ නව වෙනි ග්‍රහලෝකයේ ඔටුන්න හිමි කුමරිය වුවත් 
වර්තමාන පාලන ක්‍රමය තුල ඇය ද සාමාන්‍යය පුද්ගලයෙකු පමණි. 
ඇගේ හැසිරීම්, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන්, ආදිය පිළිබඳ කරුණු එක් රැස් කොට 
ලබාගත හැකි ප්‍රයෝජන කවරේදැයි ඈ යලි යලිත් කල්පනා කළාය. 
කොරිඩෝව ඔස්සේ පිය නැගි ඈ සිය කුටියට පැමිණියේ සිතුවිලි වලින් බරවූ 
හිසිනි. චමිල පැවසූ අන්දමට මේ සියල්ල පසුපස සිටින්නේ ජිම් ද? 
එසේනම් ඒ ඇයි? කිසිඳු එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ ඈ හිසට 
මෙන් ම ගතටද විවේකයක් ලබා දෙනු වස් සයනයේ වැතිරී දෙනෙත් 
පියා ගත්තාය.

           *                  *                   *                *                *

     "නැගිටින්න කුමරිය..., නැගිටින්න...."

     කිසියම් හුරු පුරුදු හඬකින් කල ආමන්ත්‍රණයක් සවනත වැකෙන විට 
කොපමණ වේලාවක් තමන්ට නින්ද ගියා දැයි අවබෝධයක් හසාරා ට නොවීය. 
නිදි දෙව් දුව පලවා හරිමින් දෙනෙත් විවර කළ ඈ හට සයනය මත හිඳ සිටිනා 
ෆියෝනාගේ රුව දැක ගත හැකි විය.

     "ආ.... ෆියෝනා....ඔයා කොයි වෙලාවෙද ආවේ...?"

     "දැන් ටිකකට කලින්. ඔයා ඊයේ රෑ ඉඳන් මේ වෙනකම් නින්දෙ ද හිටියේ...?"

     ඈ විමසුවේ විශ්මය රැඳි මුවිනි.

      "ආ.... නැහැ, නැහැ. මං උදේම ඇහැරුණා.... ඊට පස්සේ අර ට්‍රාන්ස්මිටරය 
ගැන දැනගන්න ජෙරමි හම්බවෙන්න ගියා.... ආපහු ඇවිත් ඇඳට වැටුණ පාරට 
තමයි මට නින්ද යන්න ඇත්තේ...."

     හසාරා පැවසුවේ සයනයෙහි වාඩි වී කවුළුව වෙත නෙත් හෙළමිනි. 

     සිසිර සෘතුවේ සුන්දරත්වයට දෙස් දෙමින් කහ-තැඹිලි වර්ණ ගත් තුරු මුදුන් 
අතරින් දිස් වූ හිරු රැස් කියා පෑවේ සූර්යයා අවරට යාම ඇරඹුවා පමණක් බවයි.
තමන්ට උපරිම පැය දෙකක් පමණ නින්ද යන්නට ඇත. 

     "ට්‍රාන්ස්මිටරය?"

     කුහුලින් පිරුණු මුහුණින් යුතුව ෆියෝනා විමසා සිටියාය.

     හසාරා පෙර දින රාත්‍රියේ සිට මේ දක්වා වූ සිදුවීම් සියල්ලම සැකෙවින් 
ෆියෝනා වෙත ගෙනහැර පෑවාය.

     "ඒකේ අයිතිකාරයා කවුරු කියලද ඔයා හිතන්නේ...."

     තමන් ඒ ගැන නොදන්නා බව ඇඟවීමට හසාරා හිස සැළුවාය.

     මිතුරියන් දෙදෙනා අතර මද නිහැඬියාවක් පැතිර ගියේය.

     "අපරාදේ.... මං අද උදෙන්ම නගරයට ගියා බඩු වගයක් අරන් එන්න. 
නැත්නම් මටත් එන්න තිබුණා ඔයත් එක්ක ට්‍රාන්ස්මිටරය පරීක්ෂා 
කරන්න යන්න."

     අවසානයේ ෆියෝනා පැවසුවේ පසුතැවිලි වන හඬිනි.

     "එහෙම වුණානම් මටත් ඒක පරීක්ෂා කරලා බලලා ඔයාලට වැදගත් වෙන 
තොරතුරක් දෙන්න තිබුණා...."

     "ඔයා ඉලෙක්ට්‍රොනික් උපාංග ගැන දන්නවද?"

     හසාරා යුහුසුළුව විමසා සිටියාය.

     "ඔව්, ටිකක් විතර. ගොවිපලේ වැඩ වලට අමතරව මගේ තාත්තා 
අසල්වැසියන්ගේ පුංචි, පුංචි ඉලෙක්ට්‍රොනික් වැඩ කරලා දෙනවා.... මමත් 
ගොඩක් වෙලාවට ගිහින් එයාට උදව් කරනවා...."

     ෆියෝනා සයනයෙන් නැගී සිට කවුළුව වෙත ඇවිද ගියාය.

     "අපි එහෙනම් ජෙරමිව හම්බවෙන්න යමුද?"

     හසාරා විමසා සිටියාය.

     "එයත් කිව්වා ට්‍රාන්ස්මිටරය ගැන තව තොරතුරු හම්බවුණොත් මට කථා 
කරන්නම් කියලා...."

     ඈ මිතුරිය වෙත නෙතු යොමමින් පැවසුවාය. නමුත් ෆියෝනාගේ අවධානය 
යොමුවී තිබුණේ කවුළුවට පහලින් පෙනෙනා දර්ශණයක් වෙතයි.

     "ඔයා කියන්නේ  ජෙරමි ක්‍රිස්ටියන් ගැනද?"

     ඈ ඒ වෙතින් නෙතු ඉවතට නොගනිමින් ම විමසුවාය.

     "ඔව්, ඇයි?"

     "මට පේනවා එයයි, එයාගේ යාළුවයි පහළ ඉන්නවා.... පේන විදිහට නම් එයාලා 
දෙන්නා ලොකු වැඩක වගෙයි."

     හසාරා ද යුහුසුළුව කවුළුව වෙත පැමිණියාය. ෆියෝනා පැවසූවේ සත්‍යයක් 
බවට දෙස් දෙමින් කිසියම් උපකරණයක් අතින් ගත් ජෙරමිත්, චමිලත් 
නේවාසිකාගාරය ඉදිරිපස බිම් තීරුවේ හිඳ සංවාදයක නිරත වනු ඇගේ නෙතු 
මත නාභිගත විය. ජෙරමි විටින් විට නේවාසිකාගාරය දෙසට අත දිගු කරමින් ද, 
තවත් විටක එහි බිත්තිය වෙත පැමිණ ආපසු හැරී යමින් ද සිදු කරනා ක්‍රියාව 
දෙස ඈ නිහඬවම බලා සිටියාය.

     "ඔව්, ඒ ජෙරමි යි, චමිල යි තමයි"

     අවසානයේ ෆියෝනා දෙස බලමින් හසාරා පැවසුවාය. නමුත් ඇගේ අවධානය 
තවමත් යොමුවී තිබුණේ පිරිමි ළමුන් දෙදෙනා වෙතය.

     "ඔයා එයාලා දෙන්නව විශ්වාස කරනවද කුමරිය?"

     එකවිටම ෆියෝනා අනපේක්ෂිත ප්‍රශ්ණයක් නැගුවාය. ඇගේ දෑස් එක එල්ලේම 
හසාරාගේ දෑස් වෙත යොමුවී පැවතුණි.

     "ම.... මම...? අනේ මන්දා...."

     හසාරා පැවසුවේ දෙවුර හකුළුවමිනි.

     "ට්‍රාන්ස්මිටරය ගැන එයාලා කිව්ව දේවල් නම් ඉතින් මට පිළිගන්න වෙනවා.... 
ඒ හැරෙන්න එයාලව අවිශ්වාස කරන්න තරම් දෙයක් මට නම් තෙරුණේ නැහැ"

     "කොහොම වුණත්, පිරිමි ළමයි එක්ක කරන ගණුදෙනු වලදී පරිස්සම් වෙන 
තරමට හොඳයි කුමරිය"

     ෆියෝනා පැවසුවේ අවවාදාත්මක ස්වරයෙනි.

     "ඒක නෙවෙයි, ඔයා දවල්ට කාල ද ඉන්නේ...?"

     අනතුරුව කථාව වෙනතකට යොමු කරමින් ඈ විමසා සිටියාය.

     'නැත' යි හැඟවීමට හසාරා හිස සැළුවාය.

     "මමත් කාලා නැහැ, යමු එහෙනම්...."
  
     දැරියෝ දෙදෙනා කවුළුව අසලින් මෑත් වූහ.

           *                  *                   *                *                *

     "හොඳයි චමිල, අපි නිකමට හිතමුකෝ මේ නේවාසිකාගාරය කුළුණක් 
කියලා....එතකොට කුමාරිකාවගේ කාමරය තියෙන්නේ අඩි විසි පහක් 
විතර උඩින්. එතන තමයි අර ට්‍රාන්ස්මිටරය තිබුණේ.... අපි උපකල්පනය 
කලොත් ඒක තාමත් එතන තියෙනවා කියලා..., අවසාන ප්‍රතිඵලය විදිහට
අපිට ලැබෙනවා, අඩි විසිපහක් උස සංඥා සම්ප්‍රේෂක කුළුණක්. 
ඔයාට මොකද හිතෙන්නේ?"

     සියත රැඳි ජංගම පරිගණකයේ තිරය වෙත වෙත අවධානය යොමු කරමින් 
ජෙරමි විමසා සිටියේය. එසේ වුවද ඔහුට පිටුපා සිටි චමිල සිය අවධානය 
යොමුකර සිටියේ ඈතින් දිස්වන ක්‍රීඩා පිටියේ හිඳිනා සිසුන්ගේ රූ වෙතය. 

      සරත් සමයේ කෙටි දිවා කාලයට දෙස් දෙමින් සූර්යයා බටහිර අහස 
තැඹිලි වර්ණයෙන් සිත්තම් කර තිබූ අතර තුරු මුදුන් අතරින් හමා ආ මද සීත
සුළං ප්‍රවාහයෝ ඔවුන්ගේ සිරුරු අතරින් ඇදී ගියහ. සුළඟ හා මුසු වූ වර්ණවත් 
තුරු පත් කිහිපයක්, නේවාසිකාගාරය ඉදිරිපස බිම් තීරුව හැඩගන්වමින් හුන් 
සිය සමීපතමයන් හා එක්වූයේ ඔවුන් ඇඳි සිතුවමේ අඩු ලුහුඬු කම් 
මකා දමන්නට මෙනි.

     "මට නම් හිතෙන්නේ අපි දවල්ට කාපු චීසුයි, කර කරපු පානුයි ඇත්තටම 
ඔයාගේ මොළේ පිස්සු වට්ටලා කියලයි"

     මිතුරා වෙත නෙත් හෙළමින් චමිල පිළිවදන් දුන්නේය.

     "හා.... හා.... හරිම විනෝදජනකයි චමිල. දැන් මට කියනවද වටපිට බලලා 
ඔයාට මොනවද පේන්නේ කියලා...."

     මිතුරාගේ උපහාසය ගාණනකට නොගනිමින්ම ජෙරමි පැවසීය.

     "ඔය, මං කිව්වේ...."

     චමිල පැවසුවේ දෑත් දෙපසට විහිදමිනි. අනතුරුව හේ නැවත් වරක් 
පරිසරය වෙත නෙතු යොමු කළේය.

     "ම්....ම්....ම්..... දැන් බලමු..., ළමයි, ගස්, අහස, වළාකුළු, කුරුල්ලෝ..., 
ගොඩනැගිලි වල වහළ.... හේයි ! ! මට පේනවා විද්‍යාගාරේ වහලේ උඩ
'ගැමන්' කෙනෙක් ඉන්නවා.. ! !"

( ‘ගැමන්’ (Gammon) - පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදා ගන්නා සිෆ් වරයෙකි)

    (නැවත හමුවෙමු....)

No comments:

Post a Comment