මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Sunday, July 17, 2016

ෆියෝනාගේ හෙලිදරව්ව - (ii-කොටස)



     "අයියෝ චමිල.... වැදගත් දෙයක් කියන්නකෝ...."

     "ඇයි ඒක වැදගත් නැද්ද? වහලේ උඩට කොහොමද 'ගැමන්' කෙනෙක් ගියේ 
කියන එක?"
  
     "එයා වහලේ තියෙන වීදුරු කවුළුවක් පාවිච්චි කරන්න ඇති.... විහිළු නතර 
කරලා කියන්නකෝ ඔයාට කුළුණක් හරි, ඇන්ටනාවක් හරි පේනවද කියලා...."

     ජෙරමිගේ දෑස තවමත් රැඳී ඇත්තේ සියත රැඳි උපකරණයේ තිරයේ ය. 
චමිල තමා සිටි තැනින් මදක් ඉදිරියට ඇවිද ගියේය.

     "මෙහෙයුම සම්පූර්ණයි. ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ වහලේ උඩ නම් 
ඒ වගේ දෙයක් තියෙනවා කියලා පේනවා...."

     අව් රශ්මිය වලකාලන්නට සිය දෑස් සුරතින් ආවරණය කරමින් චමිල පැවසූවේ 
තුරු මුදුන් අතරින් දිස්වන ඡායාවක් දෙස බලමිනි. ජෙරමි ද තමා මෙතෙක් 
වේලා කරමින් හුන් කාර්යය පසෙකලා පැමිණ චමිල හා එක්විය.

     "හරි, ඒක තමයි ඉස්කෝලේ ප්‍රධාන ඇන්ටනාව...."

     එය කුමක් දැයි හඳුනාගන්නා තුරු මොහොතක් ඒ වෙත නෙතු යොමා හුන් 
ජෙරමි පැවසීය.

     "ඔයා හිතන විදිහට මෙතන ඉඳන් එතනට කොච්චර විතර දුරක් ඇතිද?"

     "ම්.... මීටර් දෙසීයක් විතර...."
     
     මොහොතක් වේලා කල්පනා බරව පසුවූ චමිල පැවසීය.

     "විශිෂ්ඨයි චමිල...."

     ජෙරමි පැවසුවේ උද්දාමයෙනි.

     "මම අර ට්‍රාන්ස්මිටරයේ ප්‍රබලතාව ගැන පොඩි ගණනය කිරීමක් කලා.... 
ගාණේ හැටියට ඒකට පුළුවන් මීටර් දෙසිය පණහක විතර දුරකට පැහැදිළිව 
තොරතුරු සම්ප්‍රේෂණය කරන්න"

     "ඒ කියන්නේ ට්‍රාන්ස්මිටරයට පුළුවන් කෙලින්ම ඉස්කෝලේ ප්‍රධාන 
ඇන්ටනාවට සම්බන්ධ වෙන්න"

     චමිල සිය නිගමනය ගෙනහැර පෑවේය.
  
     එය නිවැරදි බව හැඟවීමට ජෙරමි හිස සැළීය.

     "අපි දැන් මොකද කරන්නේ...?"

     "යමු.... අපි ගිහින් හරියටම පරීක්ෂා කරලා බලමු"

     ජෙරමි පෙරමුණ ගත්තේය

     "ඔයා හදන්නේ ගොඩනැගිල්ල උඩට නැගලා ඇන්ටනාව පරීක්ෂා 
කරන්නද?"

     චමිල විමසුවේ අවිනිශ්චිත ස්වරයෙනි.

     "ඔව්. එහෙම කළොත් අපිට හොයාගන්න පුළුවන් වේවි ට්‍රාන්ස්මිටරය 
විකාශනය කරන දත්ත ප්‍රධාන ඇන්ටනාව හරහා කාටද යන්නේ කියලා...."

     ඔවුහු පරිපාලන ගොඩනැගිල්ල වෙත පා නගන්නට වූහ.

     එදින නිවාඩු දිනයක් වූ බැවින් ඉඳහිට විදුහල් බිම හරහා ඇවිද යන සිසුවෙකු 
හෝ සිසුවියක නොවන්නට, වර්ණවත් තුරු හිස් සහ තුරු පත් වලින් වැසී ගිය 
මාවත් දක්ෂ සිත්තරෙකුගේ තෙලිතුඩින් නිමවූ සිතුවමක් වැනිය. වා තලය පුරා 
මදනල හා නැළවෙන තුරු පත් වල සිහින් නාදය පැතිර ගොස් තුබුණු අතර 
විටෙක ක්‍රීඩා පිටිය දෙසින් ඇදී එන සිසුන්ගේ ඝෝෂාවක් එය බිඳ හෙළීය.

     පන්ති කාමර අතරින් වැටී තිබුණු පුළුල් මාවත ඔස්සේ පිය නැගි ජෙරමි හා 
චමිල තවත් මොහොතකින් පරිපාලන ගොඩනැගිල්ලේ පුළුල් වීදුරු ද්වාරය අසලට 
පැමිණියහ.

     "අයියෝ.... මේක වහලනේ...."

     ද්වාරය විවර කිරීමට උත්සාහ කල ජෙරමි එය නිශ්ඵල වූ තැන 
බලාපොරොත්තු කඩවූ ස්වරයෙන් පැවසීය.

     "දැන් කොහොමද අපි ඇන්ටනාව පරීක්ෂා කරලා බලන්නේ...?"

     "ජිම් ලඟ සමහර විට මේ ගොඩනැගිලි වල යතුරු ඇති...."

     "එපා..., එපා...."

     ජෙරමි වහා පැන චමිලගේ කථාව නැවැත්වීය.

     "ජිම් ගෙන් යතුරු ඉල්ලන්න ගියොත් එයාට සම්පූර්ණ කථාවම කියන්න වේවි...."

ඔවුන් දෙදෙනා අතර මොහොතක නිහැඬියාවක් පැතිර ගියේය.

     "එහෙනම් ඉතින් ඉස්කෝලේ දවසක තමයි වැඩේ කරන්න වෙන්නේ.... 
අපිට සඳුදා වෙනකම් බලන් ඉන්න වෙනවා...."

     අවසානයේ චමිල නිහැඬියාව බින්දේය.

     කල හැකි අන් කිසිවක් නොවූ බැවින් ඔවුන් දෙදෙනා නිහඬවම 
නේවාසිකාගාරය වෙත පා නගන්නට වූහ.

     "හායි ජෙරමි.... හායි චමිල...."


     එකවිටම ඔවුනට පිටුපසින් නැගුනේ සුපුරුදු හඬකි. ආපසු හැරී බැලූ 
දෙමිතුරන් හට ඉක්මන් ගමනින් එන හසාරාගේ හා ෆියෝනාගේ රූ හඳුනා 
ගැනීමට අපහසු වූයේ නැත.

     "හායි, ඔයාලා කොහෙද ගියේ...?"

     ඔවුහු තමන් වෙත එළඹෙත්ම ජෙරමි විමසා සිටියේය.

      "අපි දැනුයි දවල්ට කෑවේ...."

     හසාරා යුහුසුළුව පිළිවදන් දුන්නාය.

     "දවල්ට කෑවේ ! !"

     චමිල විමතියෙන් එයම ප්‍රතිරාවය කළේය.

     "මං හිතන්නේ දැන් තමයි අපේ තේ වෙලාව"

     එයට එකඟ නොවන බව පෙන්වමින් හසාරා සිය හිස දෙපසට සැළුවාය.

     "ඔයාගේ කාලසටහනේ තේ වෙලාව උනාට ඉස්කෝලේ කාලසටහනේ 
දැන් තියෙන්නේ දවල් කෑම වෙලාව...."

     ඈ පැවසුවේ මදහසක් මුවේ රඳවා ගනිමිනි.

     "ඉතින්, අපි දෙන්නා ඔයාලව හම්බවෙන්නමයි හිටියේ....."

     අනතුරුව, කථාබහ අදාල මාතෘකාව වෙත ගෙන එමින් හසාරා සිය හඬ 
අවදි කළාය.

     ජෙරමිගේත්, චමිලගේත් ප්‍රශ්ණාර්ථ මුසු දෑස් ඈ වෙත යොමු විය.

     "ෆියෝනා කියනවා එයාට පුළුවන් වේවිලු අර ට්‍රාන්ස්මිටරයේ තියෙන උපාංග 
හඳුනගන්න අපිට උදව් වෙන්න"

     ජෙරමි කිසිත් නොකියා තම කලිසම් සාක්කුවට අත දමා ට්‍රාන්ස්මිටරය 
ගෙන ෆියෝනා වෙත පෑවේය.

     "ඕ.... මේකේ 'ද්විමය පරිවර්තකයක්' තියෙනවා...."

     ආරක්ෂිත ආවරණය ඉවත් කර පරිපථ පුවරුව වෙත නෙත් හෙලූ සැනින් 
ඇයට කියවුණි.

     "මොකක්...? 'ද්විමය පරිවර්තකයක් !' ඔයා කොහොමද ඒක දන්නේ...?"

     ජෙරමි විමතියෙන් යුතුව විමසා සිටියේය.

     "තාත්තගේ ඉලෙක්ට්‍රොනික් වැඩපලේදී මං දැකලා තියෙනවා...."

     ෆියෝනා පිළිවදන් දුන්නාය.

     "ඒ ළඟම තියෙන අනිත් උපාංගය මොකක්ද කියලා ඔයා දන්නවද?"
     
පරිපථ පුවරුවේ 'ද්විමය පරිවර්තකය' ආසන්නයේ වූ කුඩා ස්පර්ශක 
ද්විත්වයකින් සමන්විත කොටසක් වෙත ඇගේ අවධානය යොමු කරමින් 
ජෙරමි විමසීය.

     'නැත' යි හැඟවීමට ෆියෝනා හිස සැළුවාය.

     අනතුරුව නැවත වරක් ට්‍රාන්ස්මිටරය දෙස පරීක්ෂාකාරීව බැලූ ඈ ආපසු එය 
ජෙරමි අත තැබුවාය.

     " 'ද්විමය පරිවර්තකයක්' කියන්නේ මොකක්ද? "

     චමිල විමසා සිටියේය.

     "ඒකට පුළුවන් ද්විමය සංඛ්‍යා රටා හඳුනාගෙන ඒකෙන් කියවෙන පණිවිඩය 
ලබාගන්න"

     ෆියෝනා පිළිතුරු දුන්නාය.

     "ඒ වගේ දෙයකින් ඔත්තු බැලීමේ උපකරණයකට තියෙන ප්‍රයෝජනය 
මොකක්ද?"

     චමිල නැවත වරක් විමසා සිටියේය.

     එය නොදන්නා බව හඟවමින් ජෙරමිත්, ෆියෝනාත් දෙදෙනාම සිය හිස් 
සෙළවූහ.

     ඔවුහු සිව් දෙනා නිහඬවම ඇතිකරගත් එකඟතාවයකින් මෙන් නැවත 
නේවාසිකාගාරය වෙත පා ඔසවන්නට වූහ.

     "මං අහලා තියෙනවා සමහර උපකරණ වල විස්තර දැනගන්න පුළුවන් 
'විකේතනය' කියලා ක්‍රමයක් ගැන"

     නිහඬතාවය බිඳිමින් හසාරා සිය හඬ අවදි කළාය.

     "ඔව්, ඒකෙදී කරන්නේ උපකරණයේ 'යාන්ත්‍ර කේතය' (Machine Code), අපිට 
තේරුම් ගන්න පුළුවන් භාෂාවකට හරවන එක"

     ජෙරමි පිළිවදන් දුන්නේය.

     "ඔයාට ඒක කරන්න පුළුවන්ද?"

     ෆියෝනා විමසා සිටියාය.

     "ම්.... ට්‍රාන්ස්මිටරය සම්බන්ධව නම්, මට උත්සාහ කරලා බලන්න පුළුවන්. 
නමුත් ඒක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි"
  
     "ඒ වුණාට ඒකෙන් ට්‍රාන්ස්මිටරයේ අයිතිකාරයා හොයන වැඩේට ප්‍රයෝජනයක් 
වෙන්නේ නැහැ නේද?"

     චමිල විමසුවේය.

     "එහෙම එක පාරටම කියන්න බැහැ. කොහොම වුණත්, කුමරිය මතක් කරපු 
එකේ මං බලන්නම් ට්‍රාන්ස්මිටරය විකේතනය කරන්න පුළුවන්ද කියලා...."

     ජෙරමි පැවසීය.

     මේ වනවිට ඔවුහු නේවාසිකාගාරය ආසන්නයටම පැමිණ සිටියහ. එසේ වුවද 
එයට ඇතුළු වීමට ප්‍රථම ඔහු විසින් සියල්ලන්වම නවත්වා ගත්තේය.

     "මං හිතන්නේ හරි විස්තරයක් දැනගන්න තුරු මේ ට්‍රාන්ස්මිටරය, අපි හතර 
දෙනා රහසක් විදිහට තියාගත්තොත් හොඳයි කියලයි"

     හේ පහත් හඬින් පැවසූ අතර සියල්ලෝම හිස් සලා එය අනුමත කලහ.

     පුළුල් පියගැට පෙළ තරණය කොට සිය කුටි වෙත දිවෙන කොරිඩෝව අසලදී 
ඔවුහු එකිනෙකාගෙන් සමුගත්හ.

     "හවස 'සී-පෝට්' වෙරළ පැත්තේ යනවා නම් එන්න...."

     ඉදිරියට පියමනින අතරතුර චමිල පැවසුවේ පිටුපස හැරී ගැහැණු ළමුන් 
දෙදෙනා දෙස බලමිනි.

     "අපි 'වෙරළ-වොලිබෝල්' ගහන්න පුරුදු වෙනවා.... "

     (අළුත් කොටසකින් නැවත හමුවෙමු....)

No comments:

Post a Comment