මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Thursday, September 7, 2017

රාත්‍රී ලුහුබැඳීමක්

     

     
     සිව් මිතුරන්ගේ විවාදයෙන් අනතුරුව තවත් දින කිහිපයක් සුපුරුදු පරිදි ගෙවී ගියේය. පැහැබර කාළගුණයෙන් යුත් එම දින කිහිපයේදී ජිම්ගේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු නොකඩවා සිදු කෙරුණු අතර පාසලේ අධ්‍යයන කටයුතුද වෙනසකින් තොරව ගලා ගියේය. මේ කාලය තුලදී කිසියම් හෝඩුවාවක් වත් නොලත් හෙයින් ට්‍රාන්ස්මිටරය පිලිබඳ උනන්දුව සිව් මිතුරන්ගේ සිත් තුලින් මොහොතකට ඉවත්ව ගොස් තිබුණි. මේ වන විට විෂයයන් බොහොමයක ප්‍රගති පරීක්ෂණ ආරම්භ වී තිබූ බැවින් ඔවුහු වඩාත් උනන්දුවෙන් අධ්‍යයන කටයුතු වෙත යොමුවී සිටියහ.

Monday, August 14, 2017

විවාදයක්

     

     
     පෙර දින රාත්‍රියේ සිටම සිහින් හඬින් ඇදහැලෙන්නට පටන්ගත් වර්ෂාව තවමත් නිමා වී නොමැත. නුබ කුස පුරා පැතිරී ගිය අළු පැහැති වැසි වළාකුළු හිරු කිරණ සඟවාලූ හෙයින් පරිසරය වෙළා පැවතියේ තරමක අන්ධකාරයකි. වැසි දියෙන් පෙඟුනු තුරු හිස් අතරින් හමා ආ ශීත මන්ද මාරුතය ගත හිරිගඩු නංවමින් ඈතට ඇදී යයි. වෙනදා තරම් ජනාකීර්ණ නොවූ පාසල් බිම හරහා, වැහිකබා හැඳගත් හෝ කුඩ ඉහලාගත් සිසුහු එකා දෙන්නා ඉක්මන් ගමනින් ඇවිද යති. තෙතබරිත වූ බිම්කඩ මත වෙනදාටත් වඩා තුරුපත් විසිරී ගොසිනි. මංමාවත් පුරා නිර්මාණය වී තිබූ කුඩා දියකඩිති, වැසිබිඳු වැටී නොකඩවා දියරැළි නංවයි. වෙනදා වා තලය පුරවා ලූ සිසුන්ගේ හඬ වෙනුවට අද නොනවත්වාම ඇද හැලෙනා වර්ෂාවේ හඬ ඇසේ.

Tuesday, July 4, 2017

වැදගත් තොරතුරක්



     "මනුෂ්‍ය ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ නිරන්තරව ක්‍රියාකාරී වීම සඳහා…. ඒ කියන්නේ ඇවිදින්න, දුවන්න, පනින්න වගේ කාර්යයන් වලට. නැතුව දවස පුරාම පන්ති කාමරයේ මේසයක් ළඟ වාඩිවෙලා, එහෙමත් නැත්නම් පරිගණකයක් ළඟ වාඩිවෙලා කාලය ගත කරන්න නෙවෙයි…."
     ජිම් ගේ උස් හඬ ක්‍රීඩා පිටියේ වා තලය සිසාරා පැතිර යන්නට විය. සිය සුපුරුදු ඇඳුම වෙනුවට විදුහල් ලාංඡනය සටහන් කරන ලද ජර්සියකින් හා දිගු ක්‍රීඩා කලිසමකින් සැරසී සිටි හේ කුඩා නළාවක් හා කාලමානයක් සහිත මාලයක් ගෙලේ පැළඳ සිටියේය. ඔහු මෙන්ම ක්‍රීඩා ඇඳුමින් සැරසී, සිය කුළුඳුල් ක්‍රීඩා පුහුණුව සඳහා පැමිණ සිටි පළමු වසර සිසු සිසුවියන් සියල්ලෝම ඔහු වටා ඒකරාශී වී සිටි අතර උදෑසන සිහිල් මදනල ඔවුන්ගේ සිරුරු අතරින් හමා යමින් පැවතුණි.

Tuesday, May 30, 2017

ජෝව්

ජෙරමි හා චමිල පෙරටු කොට ගත් ජිම් විදුහල්පති කාර්යාලයට ඇතුළු වන විට විදුහල්පතිතුමා සිටියේ සිය මේසය අසල අසුන් ගෙන ඒ මත වූ කිසියම් ලේඛණයක් වෙත යොමුවූ දෙනෙතිනි. කුටියේ ද්වාරය විවර වූ හඬ ඇසී හේ හිස ඔසවා බැලීය.
"බාධා කලාට කණගාටුයි පැට්‍රික් මහත්මයා.... මේ ළමයි දෙන්නා ඉස්කෝලේ ප්‍රධාන ජාලයට හොරෙන් ඇතුළු වෙන්න හදද්දී මං අල්ල ගත්තා...."
ජිම් පැවසුවේ සිසුන් දෙදෙනාගේ උරහිස් වලින් අල්ලා ඔවුන්ව ඉදිරියට රැගෙන එමිනි.
"මොකක්?"
විදුහල්පතිතුමා විමසුවේ සිය උපැස් යුවල ගලවා පහත හෙළමිනි.
"ඔයාලා පළමු වසරේ ළමයි නේද? මම හිතන්නේ මේ ක්‍රිස්ටියන් සහ ලක්ෂිත."
ජෙරමි හා චමිල බිමට නැඹුරු කරගත් සිය හිස් සෙළවූහ.
"මේ දෙන්නා ප්‍රධාන ඇන්ටනාව ළඟ ඉන්දැද්දී තමයි මට අහුවුණේ.... "
ජිම් පැවසුවේ විදුහල්පතිතුමා සිටි අන්තය වෙත ඇවිද එමිනි.
"ඇත්තද ක්‍රිස්ටියන්? ඔයාලා ප්‍රධාන ඇන්ටනාව ළඟට ගියාද?"
"ඔව් සර්..., නමුත් අපි ඉස්කෝලේ ප්‍රධාන ජාලයට ඇතුළු වෙන්න හැදුවේ නැහැ."
ජෙරමි පැවසුවේ වරදකාරී ස්වරයෙනි.
"එහෙනම් ඔයාලා මොනවද එතන කලේ.... මම හිතන්නේ නැහැ ඔයාලට වැදගත් වෙන දෙයක් එතන තියෙනවා කියලා."

Thursday, February 23, 2017

ප්‍රධාන ඇන්ටනාව බලා....



     එළඹුණු ඉරිදා දිනය ජෙරමිට නම් බොහෝ කාර්යබහුල වී තිබුණි. ප්‍රධාන 
පරිගණකයේ දත්ත ගබඩා හා සම්බන්ධ වී, ට්‍රාන්ස්මිටරය පිළිබඳව තොරතුරු 
සෙවීමට දවසින් වැඩි කාලයක් මිඩංගු කර සිටි හේ කෙතරම් අපහසු වුවද එය 
විකේතනය කිරීමේ කාර්යයටද අතගසා සිටියේය. දිනය පුරා විවේක සුවයෙන් 
පසුවූ චමිල; ආහාර අනුභව කිරීමේ වේලාවල් මතක් කර දෙමින් සිය මිතුරාට 
මහත් සහයක් දැක්වූ අතර ඒවා නොතකා සිටින විටදී කෙතරම් බරපතල 
කාර්යයක නිරත වෙමින් සිටියද ඔහුව ආපන ශාලාව වෙත ඇදගෙන යාමට තරම් 
කාරුණික විය. එපමණක් නොව, නේවාසික සිසුන් සුව නින්දේ පසුවන 
මධ්‍යම රාත්‍රියේ පවා ජෙරමි සිය පරිගණකය අසල නිදි වර්ජිතව පසුවන විට 
හේ ඔහුගේ තනි නොතනියට, නුදුරින් වූ අසුනක් මත නිදි කිරා වැටෙමින් 
සිටියේය.