මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Thursday, February 23, 2017

ප්‍රධාන ඇන්ටනාව බලා....



     එළඹුණු ඉරිදා දිනය ජෙරමිට නම් බොහෝ කාර්යබහුල වී තිබුණි. ප්‍රධාන 
පරිගණකයේ දත්ත ගබඩා හා සම්බන්ධ වී, ට්‍රාන්ස්මිටරය පිළිබඳව තොරතුරු 
සෙවීමට දවසින් වැඩි කාලයක් මිඩංගු කර සිටි හේ කෙතරම් අපහසු වුවද එය 
විකේතනය කිරීමේ කාර්යයටද අතගසා සිටියේය. දිනය පුරා විවේක සුවයෙන් 
පසුවූ චමිල; ආහාර අනුභව කිරීමේ වේලාවල් මතක් කර දෙමින් සිය මිතුරාට 
මහත් සහයක් දැක්වූ අතර ඒවා නොතකා සිටින විටදී කෙතරම් බරපතල 
කාර්යයක නිරත වෙමින් සිටියද ඔහුව ආපන ශාලාව වෙත ඇදගෙන යාමට තරම් 
කාරුණික විය. එපමණක් නොව, නේවාසික සිසුන් සුව නින්දේ පසුවන 
මධ්‍යම රාත්‍රියේ පවා ජෙරමි සිය පරිගණකය අසල නිදි වර්ජිතව පසුවන විට 
හේ ඔහුගේ තනි නොතනියට, නුදුරින් වූ අසුනක් මත නිදි කිරා වැටෙමින් 
සිටියේය. 

     එසේ වුවද ඔවුන් දෙදෙනාගේම සිත් තුල එක් නොඉවසිලිමත් 
බලාපොරොත්තුවක් විය. එනම්, 'හැකි ඉක්මනින්' විදුහලේ ප්‍රධාන ඇන්ටනාව 
පරීක්ෂා කිරීමට යාමයි. එබැවින් මීළඟ දිනයේ පාසල් වේලාව තුලදී පවා ඔවුන් 
දෙදෙනාගේ අවධානය යොමුවී තිබුණේ ඉගෙනීම් කටයුතු වලට වඩා 
පන්ති කාමරයේ වූ හෝරා යන්ත්‍රය වෙතයි.

     මේ වන විට ගතවෙමින් තිබුණේ එදින අවසාන කාලඡේදය වූ ඉතිහාසයයි. 
පාසල අවසන් වීමට ඉතිරි වී තිබුණේ තවත් විනාඩි පහක් වැනි සුළු කාලයක් 
පමණක් වූ අතර විෂය භාර ආචාර්යවරයා වූ රොබට් මහතා එදින පාඩමේ 
සාරාංශය සිසුන් වෙත පැහැදිළි කරමින් සිටියේය. නමුත් එකවිටම පන්තියේ 
ද්වාරය දෙසින් ඇදී ආ හුරුපුරුදු කටහඬක් නිසා සියල්ලන්ගේම අවධානය 
වහා ඒ වෙත යොමුවිය.

     "පාඩමට බාධා කලාට කණගාටුයි රොබට් මහත්මයා.... මට පළමු වසරේ 
ළමයින්ට වැදගත් දැනුම්දීමක් කරන්න තියෙනවා...."

     ගුරුවරයාගේ අවසරයත් සමගම පන්තියට ඇතුළු වූයේ ජිම් ය.

     "අයියෝ...."

     ඔහු දුටු මතින් චමිලගේ මුව නිතැතින්ම විවර විය.

     "ජිම් පැය ගාණක් මෙතන පංපෝරි ගැහුවොත්, රොබට් මහත්මයා 
ඉස්කෝලේ ඇරුණට පස්සෙත් අපිව තියා ගනීවි පාඩම කියාදෙන්න"

     හේ පැවසුවේ නුදුරින් හුන් ජෙරමිට පමණක් ඇසෙන සේ පහත් හඬිනි.

     "හැමෝම අහගන්න. මං ආවේ තමුන්ලා බලාපොරොත්තුවෙන් ඉන්න 
සතුටුදායක ආරංචියක් අරගෙන."

     ජිම්ගේ හඬ පන්ති කාමරය සිසාරා පැතිර යන්නට විය.
     "ඒ තමයි, පළමු වසර ක්‍රීඩා පුහුණුවීම් කටයුතු හෙට ඉඳන් 
ආරම්භ වෙනවා කියන එක."

     පන්තිය පුරා සිසුන්ගේ නොපැහැදිලි කථාබස් හඬ ඇදී යන්නට වූ අතර 
එය පරයමින් නැවත වරක් ජිම්ගේ උස් හඬ ඇදී ආවේය.

     "හෙට උදේ හත වෙනකොට තමුන්ලා හැම කෙනෙක්ම ක්‍රීඩා පිටියට 
වාර්තා කරන්න ඕනා.... ඒ වගේම තමයි හෙට තියෙන පුහුණුවීම් අවසානයේදී 
තමුන්ලා අතරින් දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට පළමු වසර 'ක්‍රීඩා නායක' හා 
'ක්‍රීඩා නායිකා' තනතුරු හම්බ වෙනවා...."

     එකවරම පන්තිය පුරා නිහඬතාවයක් පැතිර ගිය අතර ජිම් තවදුරටත් 
සිය කථාව කරගෙන යන්නට විය.

     "ක්‍රීඩාශීලීත්වය කියන්නේ හොඳ සෞඛ්‍යකට, මනා ශරීර යෝග්‍යතාවයකට 
වගේම පැහැදිළි මනසකටත් අත්‍යවශ්‍ය දෙයක්. ඒක තමුන්ලටත් අදාලයි. 
බලන්න මම.... ක්‍රීඩාශීලීත්වයට හොඳම උදාහරණයක්. ක්‍රීඩාශීලීත්වය නිසා 
මට තියෙනවා පරිපූර්ණ ශරීරයක්. ඒ වගේම, පරිපූර්ණ ශරීරයක් නිසා 
මට තියෙනවා පරිපූර්ණ මනසක්...."

     "හ්....ම්....ම්....ම්...."

     රොබට් මහතා උගුර පෑදූ හඬින් ජිම්ගේ කථාවට බාධා එල්ල විය.

     "අ....ආ....ඔව්....ඔව්.... රොබට් මහත්මයා...."

     එම ඉඟිය වටහා ගත් ජිම් යුහුසුළුව පැවසීය.

     "තමුන්ලට මතකයිනේ.... හෙට උදේ හතට, ක්‍රීඩා පිටියට. 
හැමෝම ක්‍රීඩා කරන්න සුදුසු ඇඳුමක් අරන් එන්න ඕනා.... හරි. 
ස්තූතියි රොබට් මහත්මයා...."

     හේ අවසන් වැකිය පැවසුවේ පෙරට වඩා හඬ මදක් අඩු කරමිනි.
     ජිම් පන්තියෙන් පිටව යන අතරේ විදුහල අවසන් කරන බව හඟවන 
සීනු නාදය සියල්ලන්ගේම සවන් කරා ඇදී ආවේය.

     "හොඳයි..., අපි අදට මෙතනින් නවත්වමු"

     සියත රැඳි පොත වසා දමමින් රොබට් මහතා පැවසීය.

      "අයියෝ.... මේක නම් මහා විනාශයක්...."

     චමිල පැවසුවේ පන්තියෙන් පිටව යන සිසුන් සමග එක්වනු පිණිස 
නැගී සිටිමිනි.

     "ඇ.... ඇයි චමිල?"

     කිසිවක් වටහාගත නොහැකි වූ ජෙරමි විමතියෙන් යුතුව විමසා සිටියේය.

     "ඔයාට ඇහුණේ නැද්ද ජිම් කියපු දේ...? හෙට ඉඳන් උදේ හත වෙනකොට 
අපිට ඇහැරෙන්න සිද්ධවෙනවා...."

     "ආ.... ඒක ගණන් ගන්න එපා.... එන්න, අපිට දැන් වැදගත් වැඩක් 
කරන්න තියෙනවා"

     මිතුරාව අස්වසමින් ජෙරමි පැවසුවේ සිය පොත් බෑගය 
උර මත රඳවා ගනිමිනි.

     "ගණන් නොගෙන කොහොමද? මගේ නින්දෙන් එතකොට පැයක්ම 
අඩු වෙනවනේ...."

     චමිල පිලිවදන් දුන්නේ නොසතුටු මුහුණෙනි. මොහොතකින් ඔවුන් දෙදෙනාද 
පන්තියෙන් පිටව යන සිසුන් පිරිස සමග එක් වූහ.

     කෙතරම් යුහුසුළු වුවත් පාසල් බිම හා ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල 
යම් තරමකට හෝ සිසුන්ගෙන් හා ආචාර්යවරුන්ගෙන් මුක්ත වන තුරු ඔවුනට 
තවත් හෝරාවක් පමණ බලා සිටීමට සිදුවිය.

     "හරි, දැන් තමයි වෙලාව" 

     පරිපාලන ගොඩනැගිල්ලේ ප්‍රධාන ද්වාරයට තරමක් ඈතින්, 
තුරු සෙවණක වූ බංකුවක් මත හිඳ සිටි ජෙරමි පැවසුවේ නැගී සිටිමිනි.

     "මට හිතෙන විදිහට දැන් නම් ඒක ඇතුලේ කවුරුත් නැහැ.... 
චමිල ! ඔයා මොකද කරන්නේ...?"

     මිතුරාගෙන් ප්‍රතිචාරයක් නොවූ තැන හේ විමසා සිටියේ ආපසු හැරී බලමිනි. 
බංකුව මත වාඩිවී, කිසියම් රසකැවිල්ලක් අනුභව කරමින්, 
කල්පනා ලොවක් තුල සිටිනා චමිලගේ රුව ඔහුගේ දෙනෙත් මත සිතුවම් වූයේ 
එවිටය.

     "හේයි.... ඔයා ඔය කේක් කෑල්ල තාම කනවද?"
     
     "ආ.... නැහැ, නැහැ"

     පියවි සිහියට එළඹෙමින් චමිල පිලිවදන් දුන්නේය.

     "මේ ඔයාගේ එක. තේ වෙලාවෙදි ඔයා කේක් කෑවේ නැති හින්දා 
එන ගමන් මං මේක කැන්ටිමේ සිෆ් ගෙන් ඉල්ලගත්තා...."

     "හරි, හරි. දැන් ඉක්මන් කරමු. කවුරුත් පේන්න නැති වෙලාවේ 
අපි අපේ වැඩේ කරගමු"

     ජෙරමි පැවසුවේ නොඉවසිල්ලෙනි.

     කටට දෙකට කේක් කැබැල්ල අනුභව කල චමිල යුහුසුළුව තම මිතුරා 
සමග එක් විය.

    පරිපාලන ගොඩනැගිල්ල තුල ආචාර්යවරු කිහිප දෙනෙක් රැඳී සිටියද 
කිසිවෙකුට සැක නොසිතෙන පරිදි එහි ඉහල මහල වෙත පැමිණීමට ඔවුහු 
සමත් වූහ.

     "මේ පැත්තෙන්"

     චමිල පැවසුවේ පසකින් වූ ඉහලට විහිදී යන තරප්පු පෙළක් දක්වමිනි.

     "ඔයා කොහොමද ඔච්චර හොඳට මේ ගොඩනැගිල්ල ඇතුල ගැන දන්නේ...?"

     තරප්පු පෙළ මතට ගොඩවීම මදකට ප්‍රමාද කල ජෙරමි විමසා සිටියේ 
විමතියෙනි.

     "ආ.... ඒක ලේසියි. ඊයේ මං පිරිසිදු කරන් සිෆ්ලත් එක්ක මේ ගොඩනැගිල්ල 
ඇතුලට ආවා...."

     "පිරිසිදු කරන සිෆ්ලත් එක්ක ! !"

     ජෙරමි එයම ප්‍රතිරාවය කළේය.

     "එයාලා ඔයාව දකින්න ඇති නේ...."

     "ඉතින් මොකද? මම මේක ඇතුලේ එහේ මෙහේ ඇවිද්දා විතරයි නේ...."

     චමිල පිලිවදන් දුන්නේය.

     "ඔයාට දැන් පේනවා ඇති, මං ඊයේ දවසේ නිකම්ම හිටියේ නැහැ කියලා...."

     හේ ඊළඟ වැකිය පැවසුවේ ජයග්‍රාහී ස්වරයෙනි.

     "අනේ මන්දා...."

     ජෙරමි පැවසුවේ උරහිස් හකුළුවමිනි.

     තරප්පු පෙල ඔස්සේ පියනැගි ඔවුහු එහි අවසානයේ පිහිටා තිබූ 
කුඩා කුටියක් වෙත පැමිණියහ. එහි වූ ද්වාරයක් විවර කරමින් දෙමිතුරෝ 
පරිපාලන ගොඩනැගිල්ලේ වහලය මත පා තැබූහ. 

     වහලක් ලෙසින් හැඳින්වුවද ඔවුන් පා තැබූ බිම් තීරුව සිමෙන්තියෙන් 
නිර්මාණය කරන ලද තරමක් විසල්, විවෘත, සමතල භූමියක් විය. ඊට පිටුපසින්, 
තහඩු වලින් සෙවිලි කරන ලද සැබෑම වහලය විහිදී ගිය අතර සරලවම කිවහොත් 
ඔවුන් පැමිණ තිබුණේ ගොඩනැගිල්ල මුදුනෙහි වූ සඳළුතලයක් වැනි භූමියක්
වෙතටයි. එහි එක් අන්තයකට වන්නට ඔවුන් ඒ වෙත පැමිණි කුටියත්, 
එයට නුදුරින් මෙතෙක් වේලා ඔවුන් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුව සිටි 
ප්‍රධාන ඇන්ටනාවත් පිහිටා තිබුණි. ඇන්ටනාවේ සිට පැමිණි රැහැන් කිහිපයක්,
 කුටියේ බිත්තියට සවිකොට තිබූ වීදුරු වලින් ආවර්ණිත පාලක පුවරුවකට
 සම්බන්ධ කර තිබුණි.

     නමුත් මේ සියල්ලම දෙමිතුරන්ගේ දෑස් මත සනිටුහන් වූයේ පසුවයි. 

     බිම් තීරුව වෙත පා තැබූ සැනින් චමිල උමතු වූවෙකු මෙන් එහි කෙළවර දක්වා 
දිව ගියේය.

     "ෂා.... මේ තමයි නිදහස....."

     සිය ඇඳුම් ලෙලදෙවමින් හමා යන දැඩි සුළං ප්‍රවාහයද නොතකමින් හේ
උද්යෝගයෙන් හඬ නැගීය. අනතුරුව, සුළඟ විසින් විසිරුවා දමන කෙස් වැටිය 
සකස් කර ගැනීමට සිය හිස ඒ මේ අත සළමින් ඔහු අවට පරිසරය වෙත 
නෙත් හෙළීය.

     බටහිර ක්ෂිතිජ සීමාවේ වූ තුරු මුදුන් මතින් ඇදී ආ තැඹිලි පැහැ හිරු කිරණ 
මුළු අහස් තලයම සිය වර්ණයෙන් සිතුවම් කර තිබුණි. විටෙක, අඳුරු පැහැ ගත් 
තිත් සමූහයක් සිහිගන්වමින් කැදළි කරා පියඹන සියොතුන් පෙළක් 
ඈතින් ඇදී යයි. දෙමිතුරන් රැඳී සිටියේ තරමක් උස් ස්ථානයක බැවින් 
විදු බිම වටා වූ වනාන්තරය ඔවුන්ට මනාව දැක ගත හැකි විය. කහ, රතු, 
තැඹිලි වර්ණිත තුරු හිස් ඔවුන්ගේ නෙතු අභියස මැවූයේ අලංකාර දසුනකි. 
මහාමාර්ගයේ සිට විදුහල් බිම දක්වා වැටී තිබූ, දේවදාර තුරු සෙවණින් 
වැසී ගිය මාවත තවමත් සුපුරුදු හරිත වර්ණයෙන් බබලමින් කැපී පෙණුනු අතර 
හිරු කිරණ වසා දැමූ තුරුපත් එතුල අන්ධකාර සෙවනැළි රටා මැවීය. 
වනාන්තරය මෙන්ම අපූරු වර්ණයන්ගෙන් හැඩ වූ විදුහල් බිම ද 
සොබාදම් සිත්තරාගේ තෙලිතුඩින් නිමවූ චිත්‍රයක් වැනිය. මංමාවත් පුරා 
වර්ණවත් තුරු පත් විසිරී ගොසිනි. ගොඩනැගිලි වල වහල, බැසයන හිරුගේ 
ආලෝකය වැටී දිළිසුම් දෙමින් පැවති අතර ඈතින් දිස්වූ නේවාසිකාගාරයේ 
කවුළු මත පතිත වූ හිරු රැස් ඒ දෙස බලන්නෙකුගේ දෑස් නිලංකාර කරවීය.

     "චමිල......"

     දෙසවන් අතරින් ඇදී යන සුළගේ හඬ පරදවමින් ජෙරමි හඬ නැගීය.

     "ඔයා මෙහාට ආවොත් හොඳයි...."

     "ආ.... බය වෙන්න එපා.... මේ හුළඟට මාව ගහගෙන යන්නේ නැහැ"

     පිළිතුරු ලෙස චමිලගේ හඬ ඇදී ආවේය.

     "මම කියන්නේ හුළඟක් ගැන නෙවෙයි.... පහල ඉන්න කවුරුහරි ඔයාව 
දැක්කොත්, අපේ වැඩ සේරම ඉවරයි...."

     ජෙරමි පැවසුවේ මෙතෙක් වේලා සිය උර මත රැඳි පොත් බෑගය ගලවා 
බිම තබමිනි.

     මිතුරාගේ බසට අවනත වෙමින් ආපසු පැමිණි චමිල අනතුරුව සිය 
පරීක්ෂාකාරී දෙනෙත ඇන්ටනාව වෙතත්, පාලක පුවරුව වෙතත් යොමු කළේය.

     "ජෙරමි, මට පේන හැටියට මේක 'වයි-ෆයි' ඇන්ටනාවක්..! !"

     "මොකක්...?"

     බෑගය තුල වූ යමක් සොයමින් හුන් ජෙරමි වහා සිය කර්යය පසෙක ලා 
පැමිණ චමිල හා එක් විය.

     "ඔව්, ඔයා හරි"

     පාලන පුවරුව පරීක්ෂා කිරීමට මොහොතක් වේලා මිඩංගු කල හේ අනතුරුව 
පැවසුවේ බිඳුණු හඬිනි.

     "ට්‍රා‍න්ස්මිටරයට මේ ඇන්ටනාවත් එක්ක සම්බන්ධ වෙන්න බැහැ....!”

     සැබැවින්ම, ට්‍රාන්ස්මිටරය තොරතුරු විසුරුවා හරිනුයේ අඩු සංඛ්‍යාතයකින් 
යුත් රේඩියෝ තරංග භාවිතා කරමිනි. නමුත් 'වයි-ෆයි' ඇන්ටනාව 
තොරතුරු විසුරුවා හැරීමට භාවිතා කරන්නේ අධි සංඛ්‍යාතයකින් යුත් 
රේඩියෝ තරංගයි. එබැවින් මේ උපකරණ ද්විත්වයට එකිනෙක සමග සෘජුවම 
සම්බන්ධ වී තොරතුරු හුවමාරු කර ගැනීමට කිසිඳු ක්‍රමයක් නැත. 

     එසේනම් ට්‍රාන්ස්මිටරය නිකුත් කරන තොරතුරු ලබා ගන්නේ කෙසේද? 
චමිල නැවත වරක් බිම් තීරුවේ අද්දරටම ගොස් හාත්පස සිසාරා දෑස් යොමු කලේ 
වෙනත් ඇන්ටනාවක් හෝ ඒ අවට තිබේදැයි විමසන අටියෙනි. එසේ වුවද 
එවන් උපාංගයක සළකුණකුදු ඔහුගේ දෑසට හසුවූයේ නැත.

     ජෙරමි ද වඩාත් ලංවී ඇන්ටනාව පරීක්ෂා කරන්නට විය. බිම් තලයේ සිට 
අඩි දහයක් පමණ උස් වූ එය පිරමීඩාකාර ලෝහමය සැකිල්ලක් ආධාර කොට 
ගනිමින් නිර්මාණය කර තිබුණි. සැකිල්ල ඔස්සේ ඉහල සිට පහලටත්, 
පහල සිට ඉහලටත් දිවගිය ඔහුගේ දෑස්, අවසානයේ එහි මුදුනට අඩි කිහිපයක් 
පහතින් සවිකර තිබූ කුඩා පෙට්ටියක හැඩහුරුකමින් යුත් උපකරණයක්
ග්‍රහණය කර ගැනීමට සමත් විය.

     "චමිල, අතන උඩ මොකක් හරි දෙයක් තියෙනවා...."

     මිතුරාව තමා වෙත කැඳවමින් හේ හඬ නැගීය.

     "මට මේක දිගේ උඩට නගින්න පොඩි උදව්වක් දුන්නොත්, ඒ මොකක්ද කියලා 
හරියටම කියන්න පුළුවන් වෙයි...."

     චමිලගේ උදව්වෙන්, ඇන්ටනාවේ ලෝහ රාමුව ඔස්සේ තරමක් ඉහලට 
නැග ගැනීමට ජෙරමි සමත් විය. ඔහුගේ හිසකෙස් සහ ඇඳුම් ලෙලදෙවමින් 
වේගවත් සුළං ප්‍රවාහයෝ ඇදී යන්නට වූ අතර ඉහලට යත්ම සැකිල්ල කුඩා වීම 
නිසා උපකරණයට වඩා අඩි කිහිපයක් පහළින් නැවතීමට ඔහුට සිදුවිය.

     "මොකක්ද ඒක...?"

     චමිලගේ නොඉවසිලිමත් හඬ පහතින් ඇදී ආවේය.

     "ඉන්න.... මට තවත් උඩට නගින්න අමාරුයි...."

     ජෙරමි තවත් ලෝහ රාමුවක් මත පය තබා ඉහලට යාමට තැත් කලද, 
ඉහලට යන විට ඒවා අතර පරතරය වැඩි වන සේ සැකිල්ල තනා තිබූ බැවින් 
ඔහුගේ උත්සාහය නිෂ්ඵලව ගියේය.

     කල හැකි අන් යමක් නොවූ තැන හේ සිය සුරත හැකිතාක් ඉහලට දිගු කළේය. 
වාසනාවකි ! උපකරණයේ බාහිර ආවරණය ඔහුගේ අත ගැටෙන දුරින් විය. 
නිරන්තරයෙන් අව්, වැසි, සුළං ආදියට නිරාවරණය වීම හේතුවෙන් එය 
දුර්වර්ණව තිබුණද එහි එක් පසක, පිටතට නෙරා සිටින සේ මුද්‍රණය කර තිබූ 
අකුරු කිහිපයක ස්පර්ෂයක් ඔහුගේ ඇඟිලි තුඩු වලට හසුවිය. බැස යන හිරුගේ 
ආලෝකය කෙලින්ම පතිත වූයේ ඔහුගේ මුහුණට වූ බැවින් එය කියවීම 
කිසිසේත්ම කල නොහැක්කක් වුවද හේ සිය ඇඟිලි තුඩු අකුරු වටා ගෙන යමින් 
ඒවා හඳුනා ගන්නට තැත් කළේය.

     "යේ.... මං ඒක හොයාගත්තා.... ඒක හොයාගත්තා...."

     ජෙරමිගේ කෑගැසීමත් සමග චමිල වික්ෂිප්තව ගියේය.

     "මේක ගුවන් විදුලි තරංග පුනරාවර්තකයක්..! !"

     "මොකක් ! ! ?"

     ඔහුගේ ජයග්‍රාහී හඬ පරදමින් චමිලගේ කටහඬ ඇදී ආවේය.

     "ඔයා හොයාගත්තේ මොකක්ද කියලා තේරෙන භාෂාවකින් කියන්න 
පුළුවන්ද...? නැත්නම් ඒකට තියෙන්නේ තේරෙන භාෂාවකින් කියන්න පුළුවන් 
නමක් නෙවෙයිද?"

     "හරි, හරි.... ඔය තරම් හයියෙන් කෑ ගහන්න එපා.... මේක ගුවන්විදුලි තරංග 
ග්‍රහණය කරගෙන ඒවා වර්ධනය කරලා ආයෙමත් සම්ප්‍රේෂණය කරන 
උපකරණයක්...."

     "ආ.... ඒ කියන්නේ වර්ධකයක්"

     චමිලගේ හඬින් ජෙරමිගේ කථාවට බාධා එල්ල විය.

     "හ්ම්ම්.... ඔව්, එක්තරා විදියක.... පේන හැටියට නම් මේක බොහොම කාලෙකට
 කලින් සවි කරපු එකක් වගේ...."

     "ඒක වැඩ කරනවද?"

     නැවත වරක් චමිලගේ හඬ ඇදී ආවේය. ජෙරමි සිය සුරත 
උපකරණය වටා ගෙන ගියේය. ඒ සමගම හේ යමක් ග්‍රහණය කර ගැනීමට 
සමත් විය.

     "මේකට සවි කරපු රැහැනක් නම් තියෙනවා.... ඒ කියන්නේ බොහෝදුරට 
මේක වැඩ කරනවා ඇති. අපි පරීක්ෂා කරලා බලමු"

     ඇන්ටනා සැකිල්ලෙන් බිමට බසිමින් ජෙරමි පැවසීය. අනතුරුව පොත් බෑගය 
අසලට ගිය හේ එතුලින් සිය ජංගම පරිගණකය පිටතට ගත්තේය.

     "හේයි.... ඔයා ඕකත් අරගෙන ආවද?"

     චමිල විමසා සිටියේ විමතියෙනි.

     "නැතුව. ලැබෙන මුල්ම අවස්ථාවේදිම අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනා...."

     ජෙරමි පිළිතුරු දුන්නේ තරමක ආඩම්බරයෙනි. ඉක්බිතිව හේ බිත්තියෙහි 
සවිකොට තිබූ පාලන පුවරුවෙහි වීදුරු ආවරණය විවර කොට, එතුල වූ රැහැන් 
එකිනෙක පිරික්සා බලන්නට විය. අවසානයේ ඔහුගේ මුහුණේ ජයග්‍රාහී 
සිනහවක් ඇඳුණි. රැහැන් අතරින් එකක් ගත් හේ කිසිඳු අපහසුවකින් තොරව 
එය තම ජංගම පරිගණකයට සම්බන්ධ කළේය.

     "දැන් බලමු මේ වර්ධකය කාටද තොරතුරු යවන්නේ කියලා...."

     හේ පැවසුවේ උද්යෝගිමත් ස්වරයෙනි.

     එසේ වුවද පරිගණකය ආශ්‍රිත ක්‍රියාකාරකම් කිහිපයකින් පසු ඔහුගේ මුහුණ 
අඳුරු වී ගියේය.

     "මේ වර්ධකය ස්වායක්ත එකක් !"

     "ඒ.... කිව්වේ.. ? ?"

     කිසිවක් වටහාගත නොහැකි වූ චමිල විමසා සිටියේය.

     "මේකයි, මම හිතුවේ වර්ධකයට ලැබෙන තොරතුරු ඉස්කෝලේ 
පරිගණක ජාලයේ සටහන් වෙනවා කියලා.... නමුත් පේන විදිහට වර්ධකයත්, 
ඉස්කෝලේ පරිගණක ජාලයත් එකිනෙකට සම්බන්ධ නැහැ...."

     "ඒ කියන්නේ....."
     "ඒ කියන්නේ ට්‍රාන්ස්මිටරයෙන් විකාශනය වෙන තොරතුරු ලබාගන්නේ 
කවුද කියලා  අපිට හොයාගන්න බැහැ කියන එකයි"

     චමිලගේ කථාවට බාධා කරමින් ජෙරමි පැවසුවේ දුර්මුඛ හඬිනි. 

     "වර්ධකය තමන් විසින්ම රේඩියෝ තරංග ලබාගෙන ඒවා වර්ධනය කරලා 
ප්‍රතිවිකාශනය කරනවා.... ප්‍රධාන ජාලයට සම්බන්ධ වෙන්නේ නැහැ. 
මම හිතන්නේ ඒකේ තිබුණු රැහැන විදුලි බලය ලබාදෙන්න සවිකරපු එකක් 
වෙන්න ඕනා...."

     මිතුරන් දෙදෙනා අතර මඳ නිහැඬියාවක් පැතිර ගියේය.

     "දැන් මොකද කරන්නේ...?"

     අවසානයේ චමිල සිය හඬ අවදි කළේය.

     "වර්ධකයේ අගයන් අරගෙන, ඒකට කොයිතරම් දුරට තොරතුරු යවන්න 
පුළුවන්ද කියලා හොයාගෙන, ඒ සීමාව ඇතුලත තියෙන රේඩියෝ සංඥා 
ප්‍රතිග්‍රාහක මොනවද කියලා හොයන්න ගියොත් අපිට තව සෑහෙන කලක් යාවි...."

     ජෙරමි පැවසුවේ නැවත් වරක් ඇන්ටනාව දෙස බලමිනි. වර්ණවත් නුබ ගැබ 
පසුබිම් කොට ගනිමින් නැගී සිටි එහි සැකිල්ල අඳුරු යෝධයෙකු සිහිපත් කරවීය. 
බලාපොරොත්තු විරහිතව හුන් දෙමිතුරන් අතර වූ නිහඬතාවය බිඳ දැමූයේ 
සියොලඟ වෙළෙමින් හමා යන සුළගේ නාදය පමණි.

     "අපි මේ අවට තව 'වයි-ෆයි' ඇන්ටනා තියෙනවද කියලා හොයලා බලමුද? 
සමහරවිට ඒ  තැන්වලත් රේඩියෝ සංඥා ප්‍රතිග්‍රාහක තියෙන්න පුළුවන් නේ...."

     චමිල නව අදහසක් ගෙන ආවේය.

     "ම්.... ඔව්, ඒක නම් හොඳ අදහසක්"

     ජෙරමි පැවසීය. අනතුරුව හේ සියත රැඳි උපකරණයට තවත් විධාන කිහිපයක් 
එක් කළේය.

     "ආ.... මේ මොකද වෙන්නේ..! ! ?"

     එකවිටම ජෙරමිගේ මුවින් නැගුණේ විශ්මය දනවන හඬකි. චමිලද සිය 
දෙනෙත් වහා ඔහු අත රැඳි උපකරණයේ තිරය වෙත යොමු කළේය.

     එහි දිස්වෙමින් පැවතියේ විදුහල හා ඒ අවට භූමියෙහි දල සිතියමකි. එය 
විදුහල් ඇන්ටනාව තරංග විසුරුවා හරින සීමාව වන්නට ඇත. එහි විවිධ ස්ථාන 
කහ පැහැ තිත් වලින් සළකුණු වී තිබුණු අතර ඉන් අදහස් වූයේ ඒ සෑම
ස්ථානයකම 'වයි-ෆයි' ඇන්ටනාවක් ('වයි-ෆයි' ප්‍රතිග්‍රාහකයක්) පිහිටා ඇති බවයි. 
විදුහල තුල මෙන්ම ඊට පිටතින් වූ වනාන්තරය තුලද එවැනි ප්‍රතිග්‍රාහක 
කිහිපයක් පිහිටා ඇති බව පෙන්නුම් කෙරුණද ඔවුන් දෙදෙනාව 
විමතියට පත් කලේ වනය තුල වූ එම ප්‍රතිග්‍රාහක කිහිපය ඇදහිය නොහැකි තරම් 
වේගයෙන් එහා මෙහා චලනය වෙමින් පැවතීමයි.

     "ම.... මට තේරන්නේ නැහැ. මේකෙන් කියන්නේ කවුරු හරි 'වයි-ෆයි' 
ප්‍රතිග්‍රාහකත් උස්සගෙන කැලේ පුරාම දුවනවා කියන එකද? නැත්නම් ඔයාගේ 
උපකරණයේ ලෙඩක් කියන එකද?"

     චමිල විමසා සිටියේය.

     "ඒ දෙකම නෙවෙයි...."

     ජෙරමි පැවසුවේ ස්ථිර හඬිනි.
     "මේකෙන් කියන්නේ කැලේ ඇතුලේ තියෙන 'වයි-ෆයි' ප්‍රතිග්‍රාහක 
හරියටම පිහිටලා තියෙන තැන් හොයාගන්න ඉස්කෝලේ ඇන්ටනාවට බැහැ 
කියන එකයි. ඒ නිසයි ඒවා වේගයෙන් චලනය වෙන විදිහට පෙන්වන්නේ...."

     "ආ.... හා..! !"

     ඔවුන්ගේ කථාවට බාධා කරමින් සුපුරුදු හඬක් වා තලය ඔස්සේ ඇදී ආවේය.

     "තමුන්ලා දෙන්නා ඉස්කෝලේ පරිගණක ජාලයට හොරෙන් ඇතුළුවෙන්න 
නේද හදන්නේ...?"

     යුහුසුළුව හිස් ඔසවා බැලූ දෙමිතුරන් හට, කුටියේ ද්වාරය අසල නැගී සිටිනා 
ජිම්ගේ රුව හඳුනා ගැනීමට කිසි ලෙසකින් වත් අපහසු වූයේ නැත.

     "ආ.... නෑ.... නෑ.... අපි මේ.... මේ.... හුළං ටිකක් වදින්න කියලා උඩට ආවා ජිම්"

     චමිල වහා නිදහසට කාරණාවක් ගොණුකර ගැනීමට සමත් විය.

     "හුළං වදින්න...? එහෙනම් මේක මොකටද?"

     ජිම් විමසූයේ ඉදිරියට පැමිණ, ජෙරමි අත වූ ජංගම පරිගණකය උදුරා ගනිමිනි.

     "අ.... අ.... මේ.... මේ...."

     ජෙරමි යමක් කීමට උත්සාහ කලද ඔහුගේ මුවගට වදන් නොගැලුණි.

     "විදුහල්පතිතුමා ළඟට ! හ්ම්.... දෙන්නම ! !"

     ජිම්ගේ උස් හඬ වා තලය සිසාරා ඇදී ගියේය.

(අළුත් කොටසකින් නැවත හමුවෙමු....)

2 comments:

  1. කතාව ගොඩක් ලස්සනයි. දිගටම කරගෙන යන්න. ඔබට සුබ පැතුම්...

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි ! ආයෙත් මේ පැත්තේ ඇවිත් යන්න එන්න....

    ReplyDelete