මෙතෙක් කථාව,

මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Tuesday, May 30, 2017

ජෝව්

ජෙරමි හා චමිල පෙරටු කොට ගත් ජිම් විදුහල්පති කාර්යාලයට ඇතුළු වන විට විදුහල්පතිතුමා සිටියේ සිය මේසය අසල අසුන් ගෙන ඒ මත වූ කිසියම් ලේඛණයක් වෙත යොමුවූ දෙනෙතිනි. කුටියේ ද්වාරය විවර වූ හඬ ඇසී හේ හිස ඔසවා බැලීය.
"බාධා කලාට කණගාටුයි පැට්‍රික් මහත්මයා.... මේ ළමයි දෙන්නා ඉස්කෝලේ ප්‍රධාන ජාලයට හොරෙන් ඇතුළු වෙන්න හදද්දී මං අල්ල ගත්තා...."
ජිම් පැවසුවේ සිසුන් දෙදෙනාගේ උරහිස් වලින් අල්ලා ඔවුන්ව ඉදිරියට රැගෙන එමිනි.
"මොකක්?"
විදුහල්පතිතුමා විමසුවේ සිය උපැස් යුවල ගලවා පහත හෙළමිනි.
"ඔයාලා පළමු වසරේ ළමයි නේද? මම හිතන්නේ මේ ක්‍රිස්ටියන් සහ ලක්ෂිත."
ජෙරමි හා චමිල බිමට නැඹුරු කරගත් සිය හිස් සෙළවූහ.
"මේ දෙන්නා ප්‍රධාන ඇන්ටනාව ළඟ ඉන්දැද්දී තමයි මට අහුවුණේ.... "
ජිම් පැවසුවේ විදුහල්පතිතුමා සිටි අන්තය වෙත ඇවිද එමිනි.
"ඇත්තද ක්‍රිස්ටියන්? ඔයාලා ප්‍රධාන ඇන්ටනාව ළඟට ගියාද?"
"ඔව් සර්..., නමුත් අපි ඉස්කෝලේ ප්‍රධාන ජාලයට ඇතුළු වෙන්න හැදුවේ නැහැ."
ජෙරමි පැවසුවේ වරදකාරී ස්වරයෙනි.
"එහෙනම් ඔයාලා මොනවද එතන කලේ.... මම හිතන්නේ නැහැ ඔයාලට වැදගත් වෙන දෙයක් එතන තියෙනවා කියලා."

ඊට දිය හැකි පිළිතුරක් සිතාගත නොහැකිව දෙමිතුරන්ගේ දෑස් එකිනෙකාගේ මුහුණු වෙත යොමුවිය.
නමුත් මෙවෙලෙහි ඔවුන්ට බාධා කරමින් කිසිවෙකු විසින් කුටියේ ද්වාරයට තට්ටු කරන හඬක් ඇදී ආවේය.
" ඇතුලට එන්න...."
විදුහල්පතිතුමා මදක් උස් හඬින් පැවසීය.
"මට සමාවෙන්න බාධා කලා නම්."
දොරටුව විවර කරමින් කුටියට ඇතුළු වූයේ වයස අවුරුදු තිස් පහක් පමණ වූ තලෙළු, කෙසඟ පුද්ගලයෙකි. අළු පැහැ ගත් දිගු කලිසමකින් සහ එයට යට කරන ලද තැඹිලි පැහැ කමිසයකින් සැරසී සිටි හේ කාලවර්ණ සපත්තු පැළඳ සිටියේය. කෙටි, කළු පැහැ කොණ්ඩයකිනුත්, එම පැහැයම ගත් උඩු රැවුලකිනුත් යුතු ඔහුගේ දෑස් මත රැඳි උපැස් යුවලක්ද විය.
".... විද්‍යාධරන් මහත්මයා.... නියම වෙලාවට තමයි ඔබතුමා ආවේ.... ජිම් කියනවා මේ ළමයි දෙන්නා ඉස්කෝලේ ප්‍රධාන ජාලයට හොරෙන් ඇතුළු වෙන්න උත්සාහ කරද්දී එයා අල්ලගත්තා කියලා...."
"හොරෙන් ඇතුළු වෙන්න ! ! ?"
විද්‍යාධරන් මහතාගේ නළල රැළි නැංවුණි.
"කොහේද මෙයාලා හිටියේ ?"
"ප්‍රධාන ඇන්ටනාව ලඟ. මෙන්න මේකත් එයාලා ලඟ තිබිලා මං අත් අඩංගුවට ගත්තා...."
ජිම් පිළිවදන් දුන්නේ සියත් වූ ජෙරමිගේ ජංගම පරිගණකය විද්‍යාධරන් මහතා අත තබමිනි.
එය පරීක්ෂා කරන අතරතුර ඔහුගේ මුහුණට නැගුණේ සිනහවකි.
"මං හිතන්නේ මර්බෙට් මහත්මයා, ඔයා මේ ළමයි දෙන්නව නිකරුණේ අල්ලගෙන තියෙන්නේ.... මේ වගේ පරිගණකයකින් පාසලේ ප්‍රධාන ජාලයට තියා අපේ පරිගණක විද්‍යාගාර වල තියෙන 'ස්ථානීය ජාලයකට' වත් හොරෙන් ඇතුළු වෙන්න බැහැ. අනෙක් අතට ප්‍රධාන ඇන්ටනාව හරහා පාසලේ ප්‍රධාන ජාලයට හොරෙන් ඇතුළු වෙනවා කියන්නේ කොහොමටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි."
".... ඒ වුණත් විද්‍යාධරන් මහත්මයා, මං මෙයාලව අල්ලගත්තේ ප්‍රධාන ඇන්ටනාව ලඟ ඉන්දැද්දී නේ...."
ජිම් විමතියෙන් යුතුව විමසා සිටියේය.
"එහෙම නම් එතනට ගිය හේතුවත් මෙයාලගෙන්ම තමයි අහන්න වෙන්නේ...."
විද්‍යාධරන් මහතා පැවසුවේ ජෙරමි හා චමිල වෙත නෙත් හෙළමිනි. නමුත් ඔවුන් දෙදෙනා කිසිත් නොකියා නිහඬවම සිටියහ.
"ම්.... මේ පරිගණකයේ තියෙන තොරතුරු වල හැටියට නම් මෙයාලා ඉස්කෝලේ අවට තියෙන 'වයි-ෆයි' ප්‍රතිග්‍රාහක මොනවද කියලා හොයලා තියෙනවා...."
නැවත වරක් ජංගම පරිගණකය වෙත අවධානය යොමු කරමින් විද්‍යාධරන් මහතා සිය හඬ අවදි කළේය.
"ඔව් සර්, අපි හෙව්වේ ප්‍රධාන ඇන්ටනාවෙන් ලබා දෙන 'වයි-ෆයි' ජාලය හැරුණහම මේ අවට තියෙන වෙන 'වයි-ෆයි' ජාල මොනවද කියලා...."
මෙවර චමිල සාර්ථක පිළිතුරක් ලබා දීමට සමත් විය.
විද්‍යාධරන් මහතාගේ මුවගට සිනහවක් නැගුණි.
"ඒ ගැන හොයන්න යන්න පුළුවන් අවසාන සහ අවදානම් ම තැනට තමයි ඔයාලා දෙන්නා ගිහින් තියෙන්නේ...."
ජංගම පරිගණකය චමිල අත තබමින් හේ පැවසීය.
"ඔයාලා පරිගණක විද්‍යාගාරයට ඇවිත් මාව මුණගැහුනා නම් ඔය ප්‍රශ්නයට ලේසියෙන්ම උත්තර හොයාගන්න තිබුණා...."
අනතුරුව ඔහු සිය නෙතු විදුහල්පතිතුමා වෙත යොමු කළේය.
"ඔව්, ඔයාලා දෙන්නා මේ ගොඩනැගිල්ලේ වහලය උඩට ගිය එක නම් මම කොහොමට වත් අනුමත කරන්නේ නහැ. නමුත් පළමු වතාව නිසා මං ඔය දෙන්නට සමාව දෙනවා.... හැබැයි ආයෙමත් ඔය වගේ අවදානම් වැඩ කරලා අහුවුණොත් නම් සමාවක් නැහැ. තේරුණාද?"
විදුහල්පතිතුමා පැවසුවේ අවධාරණාත්මක ස්වරයෙනි. එය වැටහුණු බව හඟවමින් දෙමිතුරෝ සිය හිස් සෙළවූහ.
"හොඳයි, ඔයාලට යන්න පුළුවන්."
ඔවුන් දෙදෙනා කුටියෙන් පිටතට පැමිණියේ සැනසුම් සුසුම් හෙළමිනි. ඉක්බිතිව ඔවුහු නිහඬවම පරිපාලන ගොඩනැගිල්ලෙන් නික්මී නේවාසිකාගාරය දෙසට පා ඔසවන්නට වූහ.
"අම්මෝ.... ඒක නම් පුදුම බේරිල්ලක්."
කථා කරන්නට තරම් සිත සන්සුන් වූ විගසින් ජෙරමි සිය හඬ අවදි කළේය.
"ඔව්, හොඳ වෙලාවට විද්‍යාධරන් සර් ආවේ.… මම හිතුවේ අපිට සේරම විස්තර කියන්න වේවි කියලා...."
චමිල ද සැනසුම් ස්වරයෙන් පිළිවදන් දුන්නේය.
අනතුරුව හේ මෙතෙක් වේලා සියත රැඳි ජංගම පරිගණකය ජෙරමිගේ උර මත රැඳි පොත් බෑගය තුලට දැමීය.
"ඒක නෙවෙයි, අපේ බේරිලා යාම සමරන්නත් එක්ක තව තේ එකක් බීලම යමුද?"
"තේ බොන්න ! ?"
ජෙරමි විමසුවේ විමතියෙනි.
"ඇන්ටනාව පරීක්ෂා කරන්න යන්න කලිනුත් අපි තේ බීලා නේද ගියේ...?"
"අයියෝ.... ඒක මොකක්ද? මේ වෙච්ච දේත් එක්ක ඒ තේ වේල බඩෙන් වාෂ්ප වෙලා වගේ ගියා...."
චමිල පිළිවදන් දුන්නේය.
"මොකද කියන්නේ...? මේ පාර මං ඔයගේ පුඩිම කන්නේ නැහැ. "
"හා.... හා.... හරි එහෙනම්."
ජෙරමි පැවසුවේ ආපන ශාලාව දෙසට දිවෙනා මාවත වෙත හැරෙමිනි.
සිෆ් වරයාගෙන් ආහාර ලබාගැනීමෙන් ඉක්බිති එක් අන්තයක වූ මේසයක් අසල හිඳ ඔවුහු ඒවා අනුභව කරන්නට වූහ.
"චමිල, මොනවද ඔයා කල්පනා කරන්නේ...?"
සිය මිතුරා නිහඬවම නුදුරින් වූ වීදුරු කවුළුවකින් පිටතට යොමාගත් නෙතින් පසුවන අයුරු දුටු ජෙරමි විමසා සිටියේය.
".... මුකුත් නැහැ. මට නිකම් හිතුනා සමහර විට විද්‍යාධරන් සර් ගෙන් ඇහුවා නම් අපේ ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න පුළුවන් වේවි කියලා...."
"මොන ප්‍රශ්ණ වලටද?"
ජෙරමි විමසා සිටියේ තවත් ආහාර කැබැල්ලක් සිය මුවට ලං කරමිනි.
ඇත්තටම චමිල, ඔයා කිව්වා හරි. මේ පුඩිං හරි රසයි තමයි."
"පුඩිමක් ගැන නෙවෙයි මං කියන්නේ.... අපි ගිහින් විද්‍යාධරන් සර් ව හමුවෙලා අපේ ප්‍රශ්ණ ටික කතාකරගමු."
"මොන ප්‍රශ්ණ ද?"
"ඇයි? දැන් අපේ මූලිකම ප්‍රශ්ණය. ඉස්කෝලේ අවට තියෙන ගුවන්විදුලි සංඥා ප්‍රතිග්‍රාහක මොනවද කියන එක. ඊලඟට අර කැලේ ඇතුලේ එහෙට මෙහෙට දුව දුව තියෙන 'වයි-ෆයි' ප්‍රතිග්‍රාහක මොනවද කියන එක...."
" ඔයාගේ අදහස නම් හොඳයි, ඒත් ඔහොම ගියොත් අන්තිමට අපිට ට්‍රාන්ස්මිටරය ගැනත් විද්‍යාධරන් සර් ට කියලා තමයි එන්න වෙන්නේ...."
ජෙරමි පැවසුවේ නොසතුටු මුහුණෙනි.
"එහෙම නොවී, අපේ ප්‍රශ්ණ ටිකට විතරක් උත්තර හොයගන්න පුළුවන් ක්‍රමයක් ගැන කල්පනා කරන්න වෙනවා...."
"අපි මොකක් හරි කතාවක් ගොතමු !"
චමිල යුහුසුළුව පැවසීය.
"කතාවක් !"
"ඔව්. තහනම් වචනය 'ට්‍රාන්ස්මිටරය'. ඒ වෙනුවට වෙන වචනයක්, ම්.… ම්....හරි 'වෝකි-ටෝකි යන්ත්‍රය.' නැත්නම් 'රේඩියෝව' වගේ පාවිච්චි කරලා අපි කතාවක් ගොතමු."
චමිල විස්තර කරන්නට විය.
"අනේ මන්දා"
ජෙරමි දෙවුර හැකිළීය.
"දැන් කවුද ඔය කතාව විද්‍යාධරන් සර් ට කියන්නේ?"
".... ඒකට තමයි මම ඉන්නේ..... "
චමිල පැවසුවේ ජයග්‍රාහී ස්වරයෙනි.
"හරි, මේකයි සැලැස්ම.... අපි විද්‍යාධරන් සර් ව හම්බවෙන්න යනවා.... ඔයා ප්‍රශ්ණ අහන කොටස කරන්න, කථා කරන කොටස මම බලාගන්නම්...."
"සැලැස්ම !"
ජෙරමි උද්යෝගයෙන් එයම ප්‍රතිරාවය කළේය.
"මං හිතන්නේ ප්‍රාථමික ඉස්කෝලෙන් පස්සේ ඔයාගේ ඔය වචනේ මට ආයෙත් ඇහුණේ දැන් තමයි."
"ඔව්.... මම ඒක මේ වගේ වැදගත් වැඩක් එන තුරු ඉතිරි කරගෙන හිටියා...."
චමිල පිළිතුරු දුන්නේ සිනාමුසු මුහුණෙනි.
"ඔයගේ රසවත් පුඩිම කාලා ඉවර නම් අපි දැන්මම වැඩේට බහිමු...."
"ඔයගේ සැලසුම් වල අතීතය ගැන බැලුවොත්, මට ඉවෙන් වගේ දැනෙනවා මේ සැලැස්මත් ඉවර වෙන්නේ අපි දෙන්නට මොකක් හරි දඬුවමක් ලැබිලම තමයි කියලා.... "
පිටව යාමට නැගී සිටිමින් ජෙරමි පැවසීය.
විදුහලේ ගෘහස්ථ ක්‍රීඩාගාරයට යාබදව පිහිටා තිබූ පරිගණක විද්‍යාගාරය සොයාගැනීමට දෙමිතුරන්ට අපහසු වූයේ නැත. එය තරමක් දිගු හැඩයකින් යුත් කුටියක් විය. කාමරයේ එක් අන්තයක බිත්තියෙහි රඳවන ලද ප්‍රදර්ශක පුවරුවක් වූ අතර එයට පිටුපා දිගු මේස මත පරිගණක තබා තිබුණේ ඒවායේ පරිශීලකයන්ට ඉදිරිපසින් වූ තිරය පැහැදිලිව දිස් වන අයුරිනි. කුටිය පුරාවටම එවන් මේස පේලි විශාල සංඛ්‍යාවක් කිසියම් පරතරයකින් යුතුව තබා තිබුණේ කිසිවෙකුට ඒවා අතරින් අපහසුවකින් තොරව ගමන් කල හැකි වන පරිද්දෙනි. ප්‍රදර්ශක පුවරුවත්, පළමු පෙළත් අතර වඩා වැඩි ඉඩකඩක් වූ අතර එහි මධ්‍යට වන්නට කුඩා මේසයක් හා පුටු කිහිපයක් තබා තිබුණි.
පුළුල් ද්වාරය විවර කරමින් ජෙරමි හා චමිල එයට ඇතුළු වන විට විද්‍යාධරන් මහතා දොරටුවට පිටුපා, ප්‍රදර්ශක පුවරුව පාමුල වූ කුඩා මේසය අසල නැගී සිටියේය. පියවර හඬ ඇසී ආපසු හැරී බැලූ ඔහුට දෙමිතුරන් හඳුනා ගැනීමට අපහසු වූයේ නැත.
".... මේ අපේ 'හැකර්ස්ලා' දෙන්නා නේ.... මොකද හදිස්සියෙම මේ පැත්තේ...?"
සියත රැඳි ෆයිල් කවර කිහිපයක් නැවත මේසය මත තබමින් හේ ප්‍රසන්න මුහුණින් යුතුව විමසා සිටියේය.
"එන්න ඇතුලට."
ලත් අවසරයෙන් ජෙරමි හා චමිල විද්‍යාධරන් මහතා වෙත පා නැගීය.
"සර් එක්ක අපිට ටික වෙලාවක් කථා කරන්න පුළුවන් වේවිද? මේ.... මේ.... පොඩි ව්‍යාපෘතියක් ගැන."
චමිල සිය හඬ අවදි කළේය.
"ව්‍යාපෘතියක් ? හ්ම්.... හ්ම්.... ඒක හොඳයි."
විද්‍යාධරන් මහතා පැවසුවේ තෘප්තිමත් ස්වරයෙනි. ඒ සමගම හේ දෙමිතුරන් හට අසුන් ගන්නා ලෙස සංඥා කළේය.
"ඉතින් , මොකක් ගැනද ඔයාලගේ ව්‍යාපෘතිය?"
සියල්ලෝම අසුන් ගැනීමෙන් අනතුරුව හේ විමසා සිටියේය.
"ඒක.... මේ.... මේ.... ගුවන් විදුලි සංඥා හුවමාරුවක් ගැන.... අර 'වෝකි-ටෝකි' යන්ත්‍ර වගේ...."
"අපි උත්සාහ කරනවා සර්, කුඩා ප්‍රමාණයේ ට්‍රාන්ස්මිටරයක් පාවිච්චි කරලා කිසියම් දුරකට, අඩු සංඛ්‍යාත රේඩියෝ තරංග ජාලයක් නිර්මාණය කරන්න."
පිළිතුරක් නොමැතිව චමිල අපහසුතාවයට පත්වනු දුටු ජෙරමි වහා සිය හඬ අවදි කළේය.
"හ්ම්.... හ්ම්.... ඒක හොඳ දෙයක්. ඒ ගැන හොයන්නද ඔයාලා අද ප්‍රධාන ඇන්ටනාවට නැග්ගා කිව්වේ...?"
සිනහවක් මුවගට නගා ගනිමින් විද්‍යාධරන් මහතා විමසීය.
"ඔව් සර්, අපිට ඕන වුණා මේ අවට තියෙන ගුවන්විදුලි සංඥා ප්‍රත්‍රිග්‍රාහක මොනවද කියලා හොයා ගන්න."
"ගුවන්විදුලි සංඥා ප්‍රත්‍රිග්‍රාහක.... ම්ම්...."
විද්‍යාධරන් මහතා මොහොතක් කල්පනා බරව පසුවිය.
"මම හිතන්නේ නැහැ ඒ වගේ දෙයක් නම් මේ අවටින් ඔයාලට හොයාගන්න පුළුවන් වේවි කියලා...."
අවසානයේ හේ සිය හඬ අවදි කළ අතර ඔහුගේ අදහස අනුමත කරමින් දෙමිතුරෝ හිස සෙළවූහ.
"ඊට පස්සේ අපි පරීක්ෂා කලා මේ අවට තියෙන 'වයි-ෆයි' ප්‍රතිග්‍රාහක මොනවද කියලා.... එතකොට..... "
"ඔයාලා දැක්කා තැනින් තැනට දුවනවා වගේ වේගයෙන් චලනය වෙන ප්‍රතිග්‍රාහක ටිකක්. "
ජෙරමිගේ කථාවට බාධා කරමින් විද්‍යාධරන් මහතා පැවසුවේ ඔහු දෙසට සිය සුරතේ දබරැගිල්ල යොමු කරමිනි. චමිලගේ හා ජෙරමිගේ දෑස් සැනෙකින් එකිනෙකා වෙත යොමුවිය. අවසානයේ ඔවුහු 'ඔව්' යැයි හැඟවීමට හිස් සොලවමින් නැවතත් විද්‍යාධරන් මහතා වෙත නෙත් හෙලූහ.
"ඒ තමයි ජෝව් ලා...."
"ජෝව් ! !"
ජෙරමිත් චමිලත් විමතියෙන් හඬ නැගූහ.
"ඔව්, ජෝව් ලා කියන්නේ එක්තරා සුවිශේෂී සිෆ්ලා කාණ්ඩයක්. හරියට පිරිසිදු කිරීමේ කටයුතු වලට ඉන්න 'ගැමන්' ලා, භාණ්ඩ ප්‍රවාහනයට ඉන්න 'ජැනිටර්ස්' ලා වගේ. "
මේසය මත වූ බොත්තමක් ඔබා ප්‍රදර්ශක පුවරුව සක්‍රීය කල විද්‍යාධරන් මහතා එහි දිස්වූ ස්පර්ශ සංවේදී බොත්තම් කිහිපයක් මතින් සිය අතැඟිළි ගෙන ගිය අතර මොහොතකින් ජෝව් කෙනෙකුගේ ඡායාරූපයක් එහි දර්ශනය විය.
විසල් අර්ධ ගෝලාකාර හිසකින් සහ එයටම සවි වූ සමචතුරස්‍රාකාර බඳකින් යුත් ඔහුට චලනය වීමට උපකාරී වූයේ බඳට පහලින් සවිකොට තිබූ 'දම්වැල් පටි' ද්විත්වයකි. සෑම සිෆ් වරයෙකුටම පොදු උපාංග වූ කෘත්‍රිම දෑතක්, දෙඇසක් හා බාහිර ශබ්ද හඳුනා ගැනීමට උපකාරී වන කුඩා මයික්‍රෆෝන් දෙකක් සුපුරුදු ලෙස ඔහු සතු වූ අතර වෙනසකට වූයේ, බඳ පිටුපසින් ඉහලට නැගි කුඩා ප්‍රමාණයේ ඇන්ටනාවක් සහ ගෝලාකාර හිස ඉදිරියෙන් වූ කුඩා පටියක හැඩය ගත් ලේසර් කිරණ නිකුත් කළ හැකි උපකරණයක් පමණි.
"ජෝව් ලාගේ කාර්යභාරය තමයි ප්‍රධාන පරිගණකය විසින් එයාලට පවරන ලද කිසියම් ක්ෂේත්‍රයක් තුල රැඳීසිටිමින් නිරන්තරව එය අධ්‍යයනය කිරීම හා ඒ පිළිබඳව ප්‍රධාන පරිගණකය යාවත්කාලීන කිරීම. ගොඩක් වෙලාවට වනාන්තර වගේ ජෛවවිවිධත්ව පද්ධති අධ්‍යයනයට, ඒ වගේම නොයෙක් ග්‍රහලෝක හා උපග්‍රහයන්ගේ පිහිටලා තියෙන ස්වයංක්‍රීය විද්‍යාගාර වල කටයුතු මෙහෙයවන්න ජෝව් ලාව යොදා ගන්නවා...."
විද්‍යාධරන් මහතා විස්තර කරගෙන යන්නට විය.
"ජෝව් ලා කියන්නේ බොහෝම නිහඬ, සාමකාමී සිෆ් ලා විශේෂයක්. තමන්ට පවරන ලද ක්ෂේත්‍රය තුල එයාලා මාස ගණනාව.... සමහර වෙලාවට අවුරුදු ගණනාවක් වුණත් එක දිගට ක්‍රියාත්මක වෙනවා.... අඩු බලශක්තියක් යටතේ වැඩ කරන්න, ස්වයංක්‍රීයව ආරෝපණය වෙන්න වගේම අනතුරකදී ස්වයංක්‍රීයව අළුත්වැඩියා වීමේ හැකියාවත් එයාලාට තියෙනවා.
ඒ වගේම ජෝව් ලා හැමතිස්සේම උත්සාහ කරනවා තෙවන පාර්ශවීය මැදිහත්වීම් අවම කර ගන්න. ඒ කියන්නේ එයාලා ක්‍රියාත්මක වෙන්නේ ස්වාධීනව කියන එකයි. ඒ නිසා ජොව් ලා සහ මනුෂ්‍යයෝ වගේම ජෝව් ලා ජෝව් ලාත් එකට මුණගැහෙනවා අඩුයි. හරියටම කියනවා නම් එහෙම මුණගැහෙන්නේම නැති තරම්. නමුත් එයාලා 'වයි-ෆයි' හරහා ප්‍රධාන පරිගණකය එක්ක රැහැන් රහිතව තොරතුරු හුවමාරු කර ගන්නවා.... ඒක නිසා තමයි ඔයාලා මේ අවට තියෙන 'වයි-ෆයි' ප්‍රතිග්‍රාහක හොයනකොට ජොව් ලා වත් පෙන්වන්නේ...."
"එතකොට එයාලට වේගයෙන් ගමන් කරන්න පුළුවන්ද? ඒ නිසාද අපිට එයාලව වේගයෙන් චලනය වෙනවා වගේ පෙන්වන්නේ?"
චමිල විමසා සිටියේය.
".... නැහැ...."
විද්‍යාධරන් මහතා පැවසුවේ සිය හිස දෙපසට වනමිනි.
"ඒක එයාලගේ ආරක්ෂක උපක්‍රමයක්. කාටවත් එයාලා ඉන්න තැන නිවැරදිව හොයාගන්න බැරිවෙන්න කරපු දෙයක්. ඒ නිසා කිසියම් උපකරණයකින් එයාලා නිකුත් කරන 'වයි-ෆයි' සංඥා ග්‍රහණය කලත් ඒ උපකරණයට බැහැ හරියටම එයාලා ඉන්න තැන හොයා ගන්න. ඔයාලා මුහුණ දීපු සිදුවීමේදී 'වයි-ෆයි' ප්‍රතිග්‍රාහක වේගයෙන් එහා මෙහා චලනය වෙනවා වගේ පෙන්නුම් කලේ ඒකයි."
විද්‍යාධරන් මහතා සිය අසුනේ සිටම තිරයේ වූ තවත් බොත්තමක් ස්පර්ෂ කල අතර ඒ සමගම තිරය මත ඇඳුනේ විදුහල වටා වූ වනාන්තරය දැක්වන සිතියමකි. ජෙරමිගේ ජංගම පරිගණක තිරයෙන් දෙමිතුරන් වරක් දුටු ආකාරයටම මෙහිදීද කහ පැහැයෙන් යුත් කුඩා රවුම් සතරක් සිතියම පුරා වේගයෙන් එහා මෙහා චලනය වෙමින් පැවතුනි.
"ඔයාලා ප්‍රධාන ඇන්ටනාවට ගිය වෙලාවෙදීත් දැක්කේ මේ වගේ දෙයක් නේද?"
ඔහු විමසුවේ සිය නෙතු නැවත චමිල හා ජෙරමි වෙත යොමු කරමිනි.
'ඔව්' යැයි හැඟවීමට දෙමිතුරෝ හිස් සෙළවූහ.
"මේ හැම කහ පාට රවුමකින්ම පෙන්නුම් කරන්නේ ජෝව් කෙනෙක්. ඉස්සර නම් මේ සිතියමේ ඔය වගේ රවුම් පහක් පෙන්නුවා…. නමුත් මේ ළඟකදී ඉඳන් පෙන්වන්නේ හතරයි. සමහර විට අනික් ජෝව් තාවකාලිකව අක්‍රිය වෙලා හරි අනතුරකට ලක්වෙලා හරි වෙන්න ඇති. "
විද්‍යාධරන් මහතා විස්තර කරගෙන යන්නට විය.
"කොහොමත් ඒක ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි. එයාලා ස්වයංක්‍රීයවම අළුත්වැඩියා වෙන හින්දා ටික දවසකින් එයාව ආයෙත් සිතියමේ පෙන්වාවි."
"නියමයි...! ඒ කියන්නේ ඉස්කෝලේ වටේ තියෙන කැළෑව ඇතුලේ ජෝව් ලා පස් දෙනෙක් ඉන්නවා…."
චමිල පැවසුවේ උද්යෝගිමත් ස්වරයෙනි.
"ඔව්…. නමුත් එයාලව හොයන්න උත්සාහ කරන එක නම් නිශ්ඵල වැඩක්. අවුරුදු ගණනාවක් උත්සාහ කරලත් මට එක ජෝව් කෙනෙක් වත් දකින්න ලැබුණේ නැහැ…. නමුත් මර්බෙට් මහත්මයා නම් මේ ළඟදී එක්කෙනෙක්ව දැකලා තියෙනවලු."
"සර්, මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා…. එතකොට ජෝව් ලා එකිනෙකා අතර පණිවිඩ හුවමාරු කර ගන්නේ කොහොමද?"
ලත් අවසරයෙන් ජෙරමි විමසා සිටියේය.
"එයාලා ඒකට පාවිච්චි කරන්නේ කෙටි තරංග ගුවන් විදුලි සංඛ්‍යාතයන්. ඒ විතරක් නෙවෙයි, එයාලට පෘථිවි කක්ෂයේ රඳවලා තියෙන චන්ද්‍රිකා එක්ක පවා තොරතුරු හුවමාරු කරන්න පුළුවන්. නමුත් ඒ හැම පණිවිඩ හුවමාරුවකටම යොදාගන්නේ ‘වෙන් කරන ලද’ සංඛ්‍යාතයන්. ඒ නිසා සාමාන්‍ය උපකරණ වලට ඒ සංඛ්‍යාතයන් ග්‍රහණය කරගන්න බැහැ."
විද්‍යාධරන් මහතා පැවසුවේ සිය උපැස් යුවල ගලවා පහත හෙළමිනි. පිරිස අතර මද නිහැඬියාවක් පැතිර ගියේය.
"මං හිතන්නේ කථාවෙන් කථාවෙන් අපි මාතෘකාවෙන් පිට ගොඩක් දුර ගියා කියලයි"
විද්‍යාධරන් මහතා නැවත සිය හඬ අවදි කළේය.
"ඉතින්, දැන් මොකක්ද ඔයාලගේ ව්‍යාපෘතිය."
"ව්‍යාපෘතිය ?"
චමිල විමතියෙන් එයම ප්‍රතිරාවය කළේය. ජෝව් පිළිබඳ විස්තරයට හේ කෙතරම් වශී වී සිටියාදැයි කිවහොත් තමන් ගෙතූ කථාව පවා මොහොතකට ඔහුගේ මතකයෙන් ගිලිහී ගොස් තිබුණි.
"ආ…. ඔව් ඔව්. අර ‘වෝකි-ටෝකි’ උපකරණය…."
"ඒ ගැන කතා කරන්න අපි වෙන වෙලාවක සර් ව හම්බවෙන්න එන්නම්. දැන් ගොඩක් හවස් වුණා නේ..."
ජෙරමි පැවසුවේ අසුනින් නැගී සිටීමට උත්සාහ කරමිනි.
"ඔව්…. ඔව්."
චමිලද වහා මිතුරාගේ අදහස අනුමත කළේය.
"හොඳයි, ඔයාලට ඕන වෙලාවක එන්න. ඉස්කෝලේ වෙලාවේදීත්, ඊට පස්සේ හවස හය විතර වෙනකනුත් මම මෙතන ඉන්නවා…."
විද්‍යාධරන් මහතාට ස්තූති කිරීමෙන් අනතුරුව දෙමිතුරෝ පරිගණක විද්‍යාගාරයෙන් නික්මුණහ.
"ඒකෙන් වුණේ 'ජෝව්' කියලා සිෆ් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත එක විතරයි."
නේවාසිකාගාරය වෙත පැමිණෙන අතරේ ජෙරමි පැවසුවේ බලාපොරොත්තු බිඳුණු ස්වරයෙනි.
"හ්ම්…."
චමිලද එය අනුමත කරමින් හිස සෙළවීය.
"ඒක නෙවෙයි, අද අපි හොයාගත්ත දේවල් කුමරියටත් කියමුද?"
මද නිහැඬියාවකින් අනතුරුව හේ නැවතත් සිය හඬ අවදි කළේය.
"එපා, එපා…."
ජෙරමි යුහුසුළුව පිළිවදන් දුන්නේය.
"ඒ දේවල් අපි දෙන්නා අතරේ විතරක් තියා ගනිමු. මොකද, මගේ හිතේ පොඩි සැකයක් තියෙනවා…."
"සැකයක් ? කුමරිය ගැන?"
චමිල විමසා සිටියේ නොපහන් ස්වරයෙනි.
"නැහැ, නැහැ.... එහෙම දෙයක් නෙවෙයි. මට කියන්න ඕනෙ වුණේ ට්‍රාන්ස්මිටරය ගැන දැනගෙන කුමරිය කොහොමත් ඉන්නේ බයෙන් නිසා අද අපි හොයාගත්ත ගුවන්විදුලි සංඥා වර්ධකය, ජෝව් ලා ගැන කිව්වොත් එයාගේ හිත තවත් අවුල් වේවි කියලයි."
"ම්.... ම්.... ඔව්, ඒකත් ඇත්ත තමයි."
මද වේලාවක් කල්පනාවේ නිමග්න වූ චමිල සිය හඬ අවදි කළේය.
"ඔයා කියන්නේ අපි ප්‍රධාන ඇන්ටනාවට ගිය ගමන ගැන කුමරියට නොකියා ඉමු කියලද?"
'ඔව්' යැයි හැඟවීමට ජෙරමි හිස සැළීය.
"මට හිතෙන්නේ තව ටිකක් කල්පනා කරලා මොකක් හරි කල්පිතයක් ගොඩනගාගෙනම කුමරියට මේ ගැන කිව්වොත් හොඳයි කියලයි."
"කොහොම වුණත්, ඔයා වැඩිය කල්පනා කරන්න යන්න එපා.... අද රෑ කෑම වේල මගහැරෙන්න පුළුවනි...."
චමිල පැවසුවේ අවවාදාත්මක ස්වරයෙනි.
"ඒ මොකද? කොහොමත් ඔයා ඉන්නවනේ මට කෑම වෙලාව මතක් කරලා දෙන්න."
"අද නම් නැහැ."
චමිල පැවසුවේ සිය හිස දෙපසට වනමිනි.
"මම යනවා හවස තියෙන 'කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය' බලන්න. කොහොම වුණත්, නේවාසිකාගාරයේ ඉන්න හැමෝම වගේ ඒකට යන නිසා ඔයාට නිදහසේ කල්පනා කර කර ඉන්න පුළුවන් වේවි."
චමිල පැවසුවේ මිතුරාගෙන් වෙන් වී යාමට අත වනා සන් කරමිනි. ජෙරමිද අත වනා නේවාසිකාගාරය ඉදිරියෙන් වූ පුළුල් පියගැට පෙළ තරණය කරන්නට වූවේය.
නීලවර්ණ නුබ කුස පුරා සේද සළු එළුවාක් මෙන් රෝස, කහ, තැඹිලි වර්ණ මිශ්‍රිත දුහුල් වළාකුළු විසිරී ගොස් තිබුණි. වළාකුල් වියනට යටින් කැදලි කරා පියඹන සියොතුන්ගේ රූ ඇදී යයි. සිය අවසන් පත්‍ර කිහිපයද මද සුළඟ හා එක් කරමින් ක්‍රමයෙන් තුරුපතින් මුක්ත වන තුරුහිස්, හිස් අහස වෙත එසවූ අක්‍රමවත් රේඛා ජාලයක් සිහිගන්වයි. පරිසරය වෙලා ගත් නිහැඬියාවට සමු දෙමින් නැගී එන නිශාචර කෘමීන්ගේ හඬ එළඹෙන රාත්‍රිය පිළිගැනීමට ගායනා කරනා ගීතයන් වැනිය. මෙතෙක් වේලා පාසල් බිම සරමින් හුන් සිසුහු සෙමෙන් සෙමෙන් නේවාසිකාගාරය වෙත ඇදෙමින් සිටිති. බැසයන හිරු මැවූ දිගු සෙවණැළි රටා සිහිගැන්වූයේ උදාවූ දිනයක නිමාවයි. තවත් මොහොතකින් මේ සියල්ල වසා ගනිමින් අන්ධකාර සේනාවෝ පැමිණෙනු ඇත.

2 comments:

  1. We r waiting for ur new posts... Don't make us angry being late... Hey! hey!...
    Whatever Good Luck brother...

    ReplyDelete
    Replies
    1. Ok... I'll post the next one ASAP. Anyway thank you! come again :-)

      Delete