මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Tuesday, July 4, 2017

වැදගත් තොරතුරක්



     "මනුෂ්‍ය ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ නිරන්තරව ක්‍රියාකාරී වීම සඳහා…. ඒ කියන්නේ ඇවිදින්න, දුවන්න, පනින්න වගේ කාර්යයන් වලට. නැතුව දවස පුරාම පන්ති කාමරයේ මේසයක් ළඟ වාඩිවෙලා, එහෙමත් නැත්නම් පරිගණකයක් ළඟ වාඩිවෙලා කාලය ගත කරන්න නෙවෙයි…."
     ජිම් ගේ උස් හඬ ක්‍රීඩා පිටියේ වා තලය සිසාරා පැතිර යන්නට විය. සිය සුපුරුදු ඇඳුම වෙනුවට විදුහල් ලාංඡනය සටහන් කරන ලද ජර්සියකින් හා දිගු ක්‍රීඩා කලිසමකින් සැරසී සිටි හේ කුඩා නළාවක් හා කාලමානයක් සහිත මාලයක් ගෙලේ පැළඳ සිටියේය. ඔහු මෙන්ම ක්‍රීඩා ඇඳුමින් සැරසී, සිය කුළුඳුල් ක්‍රීඩා පුහුණුව සඳහා පැමිණ සිටි පළමු වසර සිසු සිසුවියන් සියල්ලෝම ඔහු වටා ඒකරාශී වී සිටි අතර උදෑසන සිහිල් මදනල ඔවුන්ගේ සිරුරු අතරින් හමා යමින් පැවතුණි.