මෙතෙක් කථාව,


මෙතෙක් කථාව,

    හසාරා, ෆියෝනා, ජෙරමි හා චමිල යනු 'සැජිටේරියස් උසස්-කණිෂ්ඨ විද්‍යාලයේ' පළමු වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් සිව් දෙනෙකි. දිනක් හසාරාගේ කුටියෙහි තිබී රහසිගතව සඟවන ලද කුඩා ට්‍රාන්ස්මිටරයක් ජෙරමි විසින් සොයාගනු ලබන අතර ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී එය මීට බොහෝ කාලයකට ඉහතදී ඔත්තු බැලීම සඳහා භාවිත කල උපකරණයක් බව සොයා ගනී. පසුව හසාරා විසින් සිය මිතුරිය වූ ෆියෝනා හටද ට්‍රාන්ස්මිටරය පිළිබඳව පවසන අතර ඇයද එය පරීක්ෂා කර බැලීමට ඉල්ලා සිටියි. මේ අතර එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න සෙවීමට චමිල හා ජෙරමි උත්සාහ කරයි....

Saturday, January 12, 2019

හොල්මන් මාවත



          සන්ධ්‍යා හිරු කිරණ ඇස ගැටෙන මානයේ වූ සියල්ලක්ම වාගේ සිය තැඹිළි වර්ණයෙන් හැඩ ගන්වා තිබුණි. කහ පැහැති හිසින් යුතුවූ තුරු පේළි අතරින් හිරු රැස් වියැකී යද්දී අඳුරු මීදුම් වලාවක් ලෙසින් අන්ධකාරය ගලා එමින් පැවතුණි. දහවල් කාලයේ සිසුන්ගේ හඬින් පිරුණු වා තලය දැන් නිහඬව සැඳෑ සුව විඳිමින් සිටින්නක් වැනිය. පන්ති කාමර පිරිසිදු කරනු වස් ඈත මාවතක් ඔස්සේ ගමන් ගන්නා සිෆ් වරුන් පිරිසක් බැස යන හිරු කිරණ වැදී රිදී පැහැ දිළිසුම් ඇති කරයි.
          පැහැදිළි සැඳෑවක සුව විඳිමින් හසාරා විදුහලේ පිහිණුම් තටාකය වෙත පා නගමින් සිටියාය. පාසලේ ප්‍රධාන ගේට්ටුවට නුදුරින් දිවෙන, දිගු, බෑවුම් සහිත මාවතක් අවසානයේ එය පිහිටා තිබුණි. ගෘහස්ථ පිහිණුම් තටාකයක් වූ එහි පුළුල් වහලය ඒ වෙත පැමිණෙන්නෙකුට දුර තියාම දර්ශණය වේ. වෙනස් කළ හැකි වහලයක් වූ එය අවස්ථාවට උචිත ලෙස හැකිළීමට හෝ දිගහැරීමට හැකියාව පැවතුණි. මේ වන විට ගොඩනැගිල්ල වෙත ලඟා වී සිටි හසාරා එහි පසකින් වූ ද්වාරයක් විවර කරමින් පිහිණුම් තටාකය වෙත පා නැගුවාය.
          මීටර පණහක් පමණ දිගින් හා මීටර විසි පහක් පමණ පළලින් යුතු වූ පිහිණුම් තටාකය දෙපස පියගැටපෙළක් ආකාරයෙන් නරඹන්නන් සඳහා ආසන සකස් කොට තිබුණි. වහලය දිගහැර තිබූ හෙයින් ගොඩනැගිල්ල තුල අන්ධකාරය දුරලනු වස් අතරින් පතර දල්වා තිබුණු කෘතිම ආලෝක ප්‍රභවයන් අඳුර සමග සම්මිශ්‍රණය වෙමින් මවා තිබුණේ මන්දාලෝකයකි. ඉඳහිට නැගෙනා ජලය කැළතෙන හඬක් හෝ නොපැහැදිලි කථාබස් හඬක් වා තලය පුරා දෝංකාර දෙමින් ක්‍රමයෙන් වියැකී යයි. තටාකයේ එක් අන්තයක, උපරිම උස දක්වා ඔසවා තිබූ ස්වයංක්‍රීයව ඉහල පහල දැමිය හැකි කිමිදුම් පුවරුවක් වූ අතර සම්පූර්ණයෙන්ම වාගේ යාන්ත්‍රික වූ මෙවන් පිහිණුම් තටාකයන්හි කිමිදුම් පුවරුව ඔසවන උස ප්‍රමාණය අනුව තටාකයේ ගැඹුර සකස්වීම මෙන්ම ජලය පිරවීම හා ඉවත්කිරීම අදිය ද ස්වයංක්‍රීයවම සිදුවන ලෙස නිර්මාණය කර තිබුණි.
          හසාරා තරමක කුතුහලයකින් යුතුව පිහිණුම් තටාකය සිසාරා සිය දෑස් යොමු කළාය. තටාකයේ විරුද්ධ පසින් ජිම් හා ඔහු පිරිවරාගත් පිහිණුම් ඇඳුමින් සැරසුණු සිසු සිසුවියන් කිහිප දෙනෙක්ද තටාකය තුල ඒ මේ අත පිහිනමින් හුන් සිසු සිසුවියන් කිහිපදෙනෙක්ද හැරුණුකොට වෙනත් කිසිවෙකු එහි රැදී සිටියේ නැත. වැඩිදුර නොසිතාම කිමිදුම් පුවරුව වෙත ඇවිද ආ හසාරා ඊට නුදුරින් වූ බංකුවක් මත අසුන් ගත්තාය. තනි කරලට ගොතා තිබූ සිය දිගු කේෂ කලාපය උරහිසට උඩින් වැටෙන ලෙස සකස් කරගත් ඈ පිහිණුම් තටාකයේ හුන් සිසුන් වෙත දෙනෙත් යොමු කළාය.
          එකවිටම කිමිදුම් පුවරුවට ආසන්නයේ පිහිනමින් හුන් සිසුන් කිහිපදෙනෙක් යුහුසුළුව ඈතට පිහිනා යනු දුටු ඇගේ අවධානය වහා ඒ වෙත යොමුවිය. ඒ සමගම වාගේ අඩි හතහමාර සීමාවේ වූ පුවරුව මත සිට දියට පැනීමට සැරසෙන රුවක් හඳුනා ගැනීමට ඈ සමත් වූවාය. එහි සිටියේ පිහිණුම් ඇඳුමින් සැරසුණු ට්‍රිලී ය. තවත් මොහොතකින් ඈ පුවරුවෙන් ඉහලට ගුවන්ගත්වී සිය සිරුර මනා ලෙස සමබර කරගනිමින් දක්ෂ ලෙස ජල තලය තුල කිමිදුණාය. ජලය කැළඹෙන හඬත්, සිසුන්ගේ ප්‍රීති ඝෝෂා හඬත් දෝංකාර දෙමින් හසාරාගේ සවන් කරා ඇදී ආවේය. නමුත් ඒ මොහොතකට පමණි. එක විටම සිසුන්ගේ හඬ නතර වූ අතර නැවත වරක් පිහිණුම් පුවරුව වෙත යොමුවුණු නෙත් ඇති හසාරා දුටුවේ අඩි දහයේ සීමාවේ සිට කිමිදීමකට සූදානම් වන ඇඩ්‍රොප්ගේ රුවයි. තවත් මොහොතකින් ගුවන්ගත්වූ හේ කරණමක්ද ගසමින් ජල තලය තුල කිමිදී ගියේ නරඹන්නන් සියල්ලන්ගේම ප්‍රීති ඝෝෂාවටත්, අත්පොලසන් නාදයටත් ඉඩ ලබා දෙමිනි. ප්‍රීතියෙන් මෙන්ම විමතියෙන්ද ඔද වැඩී සිටි හසාරාගේ දෑත් ද ඉබේටම අත්පොළසන් හඬ සමග ඒකාත්මික විය. මේ වනවිට දියෙන් ඉහලට මතුවී හුන් ට්‍රිලී අත්පොළසන් නගමින් සිටිනා තම පන්තියේ සිසුවිය හඳුනා ගෙන ඇය සිටි අන්තය වෙත පිහිනා ආවාය.
          හායි කුමරිය…, ඔයත් පීනන්න ආවද ?”
          හායි, නැහැ, නැහැ. මම නිකම් ආවේ…. ”
          හසාරා මදහසක් පාමින් පිළිතුරු දුන්නාය.
          මං දැක්කා ඔයා විද්‍යාගාරයේ දාපු දැන්වීම”
          ඉතින් ඔයා පීනන්න කැමති නැද්ද?”
          ට්‍රිලී විමසා සිටියාය.
          කැමතියි, ඒත්….”
          හසාරාගේ වැකිය සම්පූර්ණ කිරීමට ඉඩක් නොතබමින් ට්‍රිලී අසලින් ඇගේ සොයුරා වූ ඇඩ්‍රොප්ගේ හිස ජල තලය කළඹමින් ඉහලට මතුවිය.
          ආ…. කුමරිය, එන්න පීනන්න”
          හේ ආරාධනා කර සිටියේය.
          ඒත් මම පීනන්න දන්නේ නැහැ නේ….”
          හසාරා පිළිවදන් දුන්නාය.
          අයියෝ…. ඕක මොකක්ද? අපි කියාදෙන්නම්….”
          ට්‍රිලී යුහුසුළුව පැවසුවාය.
          අළුතින්ම ගෙනාපු පිහිණුම් ඇඳුම් ගොඩකුත් ඇඳුම් මාරු කරන කාමරයේ තියෙනවා…. ඔයාට ගැලපෙන එකක් බලලා ඇඳගෙන එන්න….”
          ඈ තවදුරටත් පැවසුවාය.
          හසාරා මද සිනහවක් පෑවාය. පිහිණීමට නොහැකි වුවද ඈ සිටියේ එය පුහුණුවීමට ආශාවෙනි. නමුත් තමා මෙහි පැමිණියේ ඒ සඳහා පෙර සූදානමකින් නොවූ බැවින් ඇගේ සිත තුල තවමත් පැවතියේ දෙගිඩියාවකි.
          ම්…. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා....”
          ඇඩ්‍රොප් පැවසුවේ හසාරාගේ දිගු වරලස දෙස බලමිනි.
          මම හිතන්නේ අපි ලඟ හිස් ආවරණ නැහැ.”
          හේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිය සොයුරිය දෙසට දෙනෙත් යොමු කළේය.
          ආ…. ඔව්මයි….”
          එක විටම යමක් මත්ක්වූවාක් මෙන් ට්‍රිලී සිය හඬ අවදි කළාය.
          "ඒවා එන්න ලබන සිකුරාදා වත් වේවි කියලයි ජිම් කිව්වේ….”
ඈ බලාපොරොත්තු සුන්වී ගිය හඬිනි.
          "දැන් මොකද කරන්නේ කුමරිය…? හිස් ආවරණයක් නැතිව පීනලා ඔයාගේ කොණ්ඩේ තෙමුණොත් ඒක වේළගන්න නම් ගොඩක් වෙලා යයි….”
          කමක් නැහැ. අපි වෙන දවසක බලමු.”
          ඇයව අස්වසමින් හසාරා පැවසුවාය.
          "ඇත්තම කිව්වොත් අද මම පීනන්න හිතාගෙන නෙවෙයි ආවේ….”
          ඒ මොහොතේ ඔවුන්ගේ කථාවට බාධා කරමින් නලා හඬක් ඇදී ආ අතර ඒ දෙස බැලූ ඔවුන් දුටුවේ තටාකයේ අනෙක් අන්තයේ හුන් ජිම් ඔවුන් වෙත නෙතු යොමා සිටින අයුරුයි.
          මම ගිහින් බලලා එන්නම්.”
          ඇඩ්‍රොප් පැවසුවේ ආපසු දියේ ගිලෙමිනි. තවත් මොහොතකින් හේ ජිම් සිටි ඉසව්ව වෙත පිහිණා යමින් සිටියේය. ඔහු නැවත පැමිණෙන තෙක් දැරියෝ දෙදෙන එකිනෙකා සමග දොඩමළු වෙමින් සිටියහ..
          අපි යමුද දැන්…. පරක්කුත් වෙලා.”
          නැවත වරක් ඔවුන් අසලින් මතුවූ ඇඩ්‍රොප් විමසා සිටියේ සියත රැඳි ජල ප්‍රතිරෝධී ඔරලෝසුව දෙස නෙත් හෙළමිනි. එයට එකඟතාවය පෙන්වමින් ට්‍රිලී හිස සැලූ අතර තටාකයෙන් පිටතට පැමිණි ඔවුන් දෙදෙනා තවත් මොහොතකින් සාමාන්‍ය ඇඳුමින් සැරසී හසාරා ඉදිරියේ පෙනී සිටියහ.
          පිහිණුම් තටාක ගොඩනැගිල්ලෙන් නික්මී බෑවුම් සහිත මාර්ගය දිගේ ඉහලට පිය මනින අතර ඔවුහු නැවතත් දොඩමළු වන්නට වූහ.
          කුමරියත් එන්න ලබන අඟහරුවාදා පුහුණුවීම් වලට”
          හසාරා දෙස බලමින් ට්‍රිලී පැවසුවාය.
          ඒ වෙනකොට දැනට අඩුපාඩු වෙලා තියෙන පිහිණුම් උපකරණත් සේරම වාගේ අපිට ලැබේවි”
          එයට එකඟ වූ බැව් දක්වමින් හසාරා හිස සැළුවාය.
          ඒත් ජිම් නේද ඉන්නේ අපිව පුහුණු කරන්න? ඒ කියන්නේ මේකත් ක්‍රීඩා පුහුණුව වගේ අමාරු එකක් වේවිද දන්නේ නැහැ”
          "නැහැ නැහැ කුමරිය. පුහුණුවීම වලට වෙනම උපදේශකවරුන් දෙන්නෙක් ඉන්නවා…. ජිම් ඉන්නේ ඒක සම්බන්ධීකරණය කරන්න විතරයි.”
          ට්‍රිලී පැවසුවාය.
          ක්‍රීඩා පුහුණුව කිව්වහමයි මට මතක් වුණේ…. ඔයාගේ යාළුවෝ දෙන්නා ගැන නම් මට කණගාටුයි කුමරිය.”
          එකවිටම යමක් මතක් වූවාක් මෙන් ඇඩ්‍රොප් සිය හඬ අවදි කළේය.
          ආ…. ඒ ඇයි?”
          හසාරා විමතියෙන් යුතුව විමසා සිටියාය.
          එයාලට ආයෙත් නම් ක්‍රීඩා පුහුණුව මගහරින්න බැරි වෙයි. ජිම් මට කිව්වා ජෙරමිගෙයි, චමිලගෙයි පැමිණීම ගැන හැමදාම එයාට වාර්තා කරන්න කියලා”
          හ්ම්….”
          හසාරා සුසුමක් හෙළුවාය.
          එයාලා දෙන්නා ක්‍රීඩා පුහුණුවට එන්නේ වැඩි කැමැත්තකින් නෙවෙයි...”
          එයාලා විතරක් නෙවෙයි කුමරිය. ගොඩක් අය ක්‍රීඩා පුහුණුවට එන්නේ කැමැත්තෙන් නෙවෙයි. මොකද ඇත්තම කිව්වොත් ජිම්ගේ ක්‍රීඩා පුහුණු අභ්‍යාස සාමාන්‍ය ළමයෙකුට වඩා ගොඩක්ම ගැලපෙන්නේ නිතරම ක්‍රීඩා වල යෙදෙන අයට”
          ඇඩ්‍රොප් පැවසූ අතර ඔහුගේ සොයුරියද එම අදහස අනුමත කරමින් හිස සැළුවාය.
          කෙමෙන් කෙමෙන් අන්ධකාරය නැගී එන මාවත ඔස්සේ ඔවුහු මොහොතක් නිහඬවම පා නැගූහ.
          ඒක නෙවෙයි කුමරිය, අද රෑ කෑමට යමුද අපේ ගෙදර”
          නිහඬතාවය බිඳිමින් ඇඩ්‍රොප් ආරාධනා කර සිටියේය.
          ගෙදර??”
          හසාරා විමතියෙන් එයම ප්‍රතිරාවය කළාය.
          මම හිතුවේ ඔයාලා ඉස්කෝලේ නේවාසිකව ඉන්නවා කියලා….”
          ආ…. නැහැ කුමරිය, අපි ඉන්නේ මේ ළඟ තියෙන ‘රජයේ නිවාස’ වල."
          ට්‍රිලී පැවසුවාය.
          අපි මේ ඉස්කෝලෙට එන නිසා අම්මයි තාත්තයි මේ ලඟින්ම රජයේ නිවාසයක් ඉල්ල ගත්තා….”
          මේ කාලය වන විට ‘පෞද්ගලික නිවාස’ යන සංකල්පය සම්පූර්ණයෙන්ම වාගේ තුරන් වී ගොස් තිබුණි. ප්‍රධාන පරිගණකය හා මධ්‍යගතව ‘රජයේ නිවාස’ නමින් හැඳින්වූ නිවාස යෝජනා ක්‍රම රැසක් පැවති අතර නිවාසයක උවමනාව ඇති ඕනෑම කෙනෙකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව පැවතුණි.
          මෙහිදී ඉල්ලුම්කරුගේ වෘත්තීය, සාමාජීය සාධක අධ්‍යයනයකින් අනතුරුව සුදුසු රජයේ නිවාසයක් එම පුද්ගලයා හිමිවේ. මෙම නිවසක ප්‍රමාණය, කාමර සංඛ්‍යාව ආදී කරුණු එම නිවාසය ඉල්ලුම් කරන පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව මත තීරණය වූ අතර නව සාමාජිකයෙකු පවුලට එකතුවීමේදී නැවත සුදුසු නිවාසයක් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව පැවතුණි. පූර්ණ ලෙස පරිගණක ගතකර පැවති මෙම නිවාස ලබාදීමේ වැඩපිළිවෙල නිසා කිසියම් ඉල්ලුම්කරුවෙකුට සුදුසු නිවාසය තෝරාදීමේදී පැවතියේ තත්පර ගණනක කාල පමාවක් පමණි.
          රජයේ නිවාස වල පදිංචියට පැමිණෙන්නන් සඳහා වූ එකම නීතිය වූයේ ඔවුන් එයින් ඉවත්ව යන තෙක් තම නිවස මනා ලෙස නඩත්තු කර තබාගැනීම පමණකි.
          ඒක නෙවෙයි, ඔයාලගේ අම්මයි තාත්තයි මොකද කරන්නේ?”
          හසාරා විමසා සිටියාය.
          අපේ තාත්තා ආක්ටෝරස් විද්‍යාලයේ ක්‍රීඩා පුහුණු උපදේශකවරයෙක්…. අම්මා නම් ඉස්සර දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක්. එයා අන්තර් ග්‍රහලෝක ශූරතාවයත් දිනලා තියෙනවා. නමුත් දැන් නම් එයා රැකියාවක් කරන්නේ නැහැ.”
          ඇඩ්‍රොප් පැවසීය.
          ඔහුට හා ට්‍රිලීට ක්‍රීඩාවට උපතින්ම ලැබී ඇති දක්ෂතාවය පිළිබඳ හසාරා තවදුරටත් විමතියට පත්වූයේ නැත.
          "මොකද කියන්නේ කුමරිය, අපි රෑ කෑමට යමු…. අපේ අම්මයි තාත්තයි දෙන්නම සතුටු වෙයි ඔයාව මුණගැහෙන්න.”
          සුපුරුදු මාතෘකාව වෙත යමින් ට්‍රිලී විමසා සිටියාය.
          ඔව්…. ඉස්කෝලේ ඉඳන් අපේ ගෙදරට වැඩි දුරක් නැහැ. පරක්කු වුණොත් අපි ඔයාව ආයෙත් ඉස්කෝලෙට ගෙනත් ඇරලවන්නම්….”
          ඇඩ්‍රොප් ද කියා සිටියේය.
          "ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතියි! මමත් කැමතියි ඔයලගේ පවුලේ අයව මුණගැහෙන්න. ඒත් සමාවෙන්න, මට අද නම් ඔයාලගේ ආරාධනාව පිළිගන්න විදිහක් නැහැ. මොකද ෆියෝනා බලාගෙන ඇති මං එනකල්…"
          හසාරා කාරුණිකව ඔවුන්ගේ ආරාධනය ප්‍රතික්ෂේප කළාය.
          ඒ වුණාට කුමරිය දවසක එන්න ඕනේ අපේ ගෙදර රෑ කෑමකට”
          ට්‍රිලී පැවසුවාය.
          ඔව්…. ඔයයි, ෆියෝනයි දෙන්නම එන්න එදාට….”
          ඇඩ්‍රොප්ද ආරාධනා කර සිටියේය.
          කථා බහ අතරේ මේ වන විට ඔවුහු විදුහලේ ප්‍රධාන ගේට්ටුව දක්වාම පැමිණ සිටියහ. තවත් සුළු මොහොතක් එකිනෙකා හා දොඩමළු වූ හසාරා, ට්‍රිලී හා ඇඩ්‍රොප් එකිනෙකා වෙත දෑත් වනා සමුගැනීමේ සුබපැතුම් එක් කළහ. ඔවුහු විදුහල් ගේට්ටුවෙන් නික්මී නොපෙනී යන අතරේ හසාරාද නේවාසිකාගාරය දෙසට පා ඔසවන්නට වූවාය.
          සූර්යයාගේ අවසන් ආලෝක පොද තවමත් පහව ගොස් නැතත් නිශා දෙව්දුවට අඬගසනා නිශාචර කෘමීන්ගේ නාදය පරිසරයේ මෙතෙක් පැවති නිහැඬියාව කෙමෙන් කෙමෙන් සිඳලමින් පැවතුනි. මාවත දෙපස වූ ස්වයංක්‍රීය විදුලි පහන් සිය මලානික ආලෝකය විහිදාලමින් සිටියේය. එහි ආලෝකය අසලට වී පියාසලනා කුඩා කෘමි සතුන්, පහන් එළියෙන් ආලෝකමත් වූ බිම් තලය මත විසල් සෙවණැළි මැවීය. සිසු සිසුවියන්ගෙන් මෙන්ම පිරිසිදු කරනා සිෆ් වරුන්ගෙන්ද මුක්ත වූ පාළු පාසල් බිමේ, අඳුර හා මුසුවෙමින් පැවති තුරු ගොමු හා ගොඩනැගිලි ඒ වෙත නෙතු යොමන්නෙකුගේ සිත බියමුසු චකිතයකින් පුරවාලයි.
          තවත් මොහොතකින් අන්ධකාරයේ සැඟවෙන පාසල් බිම ඔස්සේ හසාරා ඉක්මන් ගමනින් ඇවිද ගියාය. අඳුරටත් වඩා ඈ බිය වූයේ මේ මොහොතේ ජිම් මුණගැසුණහොත් ය. සවස් වරුවේ පාසල් බිමේ රැඳී සිටීමට කිසිඳු තහංචියක් නොවූවද ජිම්ගේ ගෝරනාඩුවටත්, ඔහු විමසන ප්‍රශ්ණ රාශියටත් පිළිතුරු දීමට ඈ බිඳකුදු කැමති වූයේ නැත. මේ වන විට ඇය පැමිණෙමින් සිටියේ මාවත බෙදී යන මංසන්ධියක් අසලටයි. ඇගේ එක් පසකින් ලං ලංව වැඩුණු දේවදාර තුරු පෙළකට මැදිව විහිදුණු මාවතක් වූ අතර ඇයට ඉදිරියෙන් ඈ මෙතෙක් පැමිණි මාවත දිගටම විහිදී ගියේය. තුරු පෙළින් සෙවණ වූ මාවත ශිෂ්‍ය නේවාසිකාගාරය වෙත යන කෙටි මගක් විය. එසේ වුවද කිසිඳු සිසුවෙක් හෝ සිසුවියක් එය භාවිත කරනු හසාරා කිසි දිනක දැක තිබුණේ නැත. එමෙන්ම ඇය ද මීට පෙර එම මාවත ඔස්සේ ගමන් කර තිබුණේ නැත. එසේ වුවද තම අභිප්‍රාය හැකි ඉක්මනින් නේවාසිකාගාරයට එළඹීම වූ බැවින් දෙවරක් නොසිතාම ඈ තුරුගොමුව ඔස්සේ වැටුණු මාවත දෙසට හැරී පා නගන්නට වූවාය.
          ඈ සිතුවාට වඩා මාවත තුල අඳුරු බවින් යුක්ත විය. උමගයක හිඳ බලන්නාක් මෙන් අන්ධකාර තුරු පෙළට ඈතින් මාවත අවසානය ආලෝකමත් ද්වාරයක් ලෙසින් දර්ශනය විය. ආපසු හැරීමට අකමැති වූ හසාරා ඒ වෙත යොමාගත් නෙත් ඇතිව ඉදිරියට පා නගන්නට වූවාය. නොනවත්වාම නද දෙන රැහැයියන්ගේ ඝෝෂාව හැරුණුකොට තුරු හිසින් වැසුණු මාවත තුල වූයේ නිහැඬියාවකි. නමුත් ඒ මොහොතකට පමණි.
          තමාට පිටුපසින් කිසියම් ආගන්තුක හඬක් නැගුණාදෝ යි සැකයක් හසාරාගේ සිත තුල එකවරම පැන නැගුණි. පා නැගීම නතර නොකල ඈ සිය විමසිලිමත් සවන් පරිසරය වෙත යොමු කළාය. මොහොතක් නිහඬවම ගෙවී ගියේය. තවත් වරක් ! ! මෙවර නම් පැහැදිළිවම වියළි කොළ බිඳෙන හඬක් ඇගේ සවනතට ඇදී ආවේය. එකවිටම කිසිවෙකු තමා පිටුපසින් පැමිණෙන බවට ඇතිවූ හැගීමක් සමගම අනියත බියකින් ඇගේ සිත පිරී යන්නට විය. ඒ කවරෙක් විය හැකිද? ජිම්….? ඇය මෙන්ම ප්‍රමාද වූ තවත් පාසල් සිසුවෙක්…? කිසියම් සතෙක්…? මොහොතක් ගමන නතර කල හසාරා ආපසු හැරී බැලුවාය. අන්ධකාරය හේතුවෙන් මද දුරක් හැරුණු කොට මාවත සම්පූර්ණයෙන්ම දිස් නොවේ. මීටර කිහිපයක් ඔබ්බෙන් කිසිවෙකුත් අඳුරු සෙවණැළි වලට මුවාවී තමා දෙස බලා සිටින බවක් ඇයට හැඟී ගියාය. ඒ සමගම සිය හදවතේ ගැස්ම ක්‍රමයෙන් උත්සන්න වනු ඇයට දැනුණි. තවත් ප්‍රමාද වෙමින් සිටීමෙන් පලක් නැත. හැකි ඉක්මනින් මේ අඳුරු මාවතෙන් පිටව යා යුතුය. සිතට එඩි ගත් ඈ තවත් වරක් පසුපස නොබලන බවට වූ දැඩි අධිෂ්ඨානයක්ද සමගින් තරමක වේගයෙන් ඉදිරියට පා නැගුවාය. තුරු පෙළ ඉක්මනින්ම ඇයට පසුවී ගියේය. ඉන්පසුව වූයේ එළිමහන් බිම් කඩකි. ඇගේ සිතට සැනසුමක් ගෙන දෙමින් නේවාසිකාගාරයේ පුළුල් ද්වාරය ඈතින් දර්ශනය විය.
          වියැකී නොයාමට තැත් දරමින් සිටිනා අවසන් හිරු කිරණ පොද වැදී නුදුරින් වූ යමක් දිළිසෙනු හසාරාගේ නෙත ගැටුනේ මේ මොහොතේදීය. එය එක් කෙළවරක් බිමට සවිකොට තිබූ කිසියම් ආකාරයක ඵලකයක් විය. සිතේ නැගුණු කුහුලත් සමග ඒ වෙත ලංවූ ඈ එහි සඳහන් වූ වැකි කිහිපය ඔස්සේ සිය දෑස් ගෙන ගියාය

හාරසිය තිස් දෙවන වර්ෂයේ ඔක්තෝම්බර් විසි පස්වන දින
මෙම මාවතේදී සිදුවූ හදිසි අනතුරකින් අප අතරින් සමුගත්
තෙවන වසරේ ශිෂ්‍ය
ජුවාන් කාලෝස් ඇන්තනි මැක්සිමිලියානෝ
සිහිපත් කරනු පිණිස
මෙම සමරු ඵලකය ස්ථාපනය කරන ලදී.

          එකවිටම සිය ගත කිළිපොලා යනු හසාරාට දැණුනි. තවත් මොහොතකුදු ප්‍රමාද නොවූ ඈ මාවත ඔස්සේ ඉක්මනින් පා ඔසවන්නට වූවාය. දේවදාර ගසින් සෙවණ වූ අඳුරු මාවත තුලදී වූ සිදුවීමත්, සමරු ඵලකයේ වූ වදන් සමූහයත් ඇගේ සිත තුල ඇති කලේ කිසියම් කැළඹීමකි. දිවා කාලයේදී පවා කිසිවෙකුත් එම මාවත භාවිත නොකරන්නේ ඇයි ද යන්න සිතාගැනීමට දැන් ඇයට අපහසු වූයේ නැත. කෙසේ වුවද ඵලකයේ වූ දෙය මීට පෙර තමා නොදැන සිටීම ගැන ඈ සතුටු වූවාය. එසේ නොමැති වූයේ නම් අඳුරු මාර්ගය තුලදී තමන් මීට වඩා බොහෝ සේ බියපත් වනු ඇත. හසාරා සැනසුම් සුසුමක් හෙළීමට තැත් කලා පමණි. මාවතේ එක් පසක, තරමක් ඈතින් වූ වෘක්ෂයක් පාමුල සිදුවූ කිසියම් අසාමාන්‍ය චලනයක් ඇගේ හද ගැස්ම උපරිමයටම නංවාලීය. ඈ කෙතරම් තිගැස්මකට ලක්වූයේද යත් ඇගේ දෙපා හුන් තැනම නතරවී ගියේය.
          නමුත් වඩා විමසිල්ලෙන් බලද්දී වෘක්ෂය පාමුල වූ රෝද පුටුවක් හා එහි හිඳ සිටිනා කිසිවෙකුගේ රූ හඳුනා ගැනීමට හසාරාට අපහසු වූයේ නැත. සැනසුම් සුසුමක් හෙළූ ඈ ඉදිරියට පා නගන්නට වූ අතර පෙර කී වෘක්ෂය අසලට ලංවත්ම එහි පාමුල හුන් මිචිකෝ වෙත සිනහවකින් සංග්‍රහ කිරීමටද අමතක නොකළාය.
          නේවාසිකාගාරයේ පඩිපෙළ අසලදී ඉක්මන් ගමනින් පඩිපෙළ බැස එන චමිලගේ රුව හසාරාගේ නෙතු මානයේ සිත්තම් වී ගියේය.
          ආ…. කුමරිය. මොකද මේ…? බයවෙලා වගේ…?”
          හසාරා දුටු මතින් හේ විමතියෙන් විමසා සිටියේය
          ඔයා හොල්මන් විශ්වාස කරනවද?”
          හසාරා විමසා සිටියාය.
          ම්හ්… නැහැ.”
          චමිල හිස සළමින් පිළිවදන් දුන්නේය.
          වැරදි උත්තරයක්….”
          හසාරා පැවසුවාය.
          මොකක්…? ඇත්තටම….”
          විමතියට පත්වූ චමිල හුන් තැනම නතර වී සිටියදී බැරෑරුම් මුහුණක් මවා ගනිමින් 'ඔව්' යනුවෙන් හිස සැළූ හසාරා ඔහුට සමු දී පඩිපෙළ ඔස්සේ ඉහලට පා ඔසවන්නට වූවාය.

(අළුත් කොටසකින් නැවත හමුවෙමු....)



No comments:

Post a Comment